සියලුම ඉස්ලාම් පුස්තකාලය

89 - The Dawn - Al-Fajr

:1

අරුණෝදය මත ද දිවුරමින්.

:2

දස රාත්‍රියන් මත ද (දිවුරමින්.)

:3

ඉරට්ටේ හා ඔත්තේ මත ද (දිවුරමින්.)

:4

රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්.

:5

නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?

:6

ඉරම් නගරයේ ආද් ජනයාට නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද ?

:7

එය කුලුනු වලින් යුක්තය.

:8

ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නොලැබූ (හ).

:9

නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයාටත්, (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද ?)

:10

රිටි වලට හිමිකම් පෑ ෆිර්අවුන්(ගේ වර්ගයාට)ත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද ? )

:11

ඔවුහු දේශයන්හි සීමා ව ඉක්මවා සැරිසැරූහ.

:12

ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝය.

:13

එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත වේදනාවේ කසය (දඬුවම) හෙළුවේය.

:14

සැබැවින්ම නුඹගේ පරමාධිපති සුපරික්ෂාකාරී ව සිටින්නාය.

:15

එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහු ව පරීක්ෂාවට ලක් කර, පසු ව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි.

:16

තවද ඔහු ව පරීක්ෂාවට ලක් කර පසු ව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.

:17

නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නොකරන්නෙහුය.

:18

තවද නුඹලා දුගියාට ආහාර සැපයීම කෙරෙහි දිරි නොගන්වන්නෙහුය.

:19

තවද නුඹලා උරුමයන් (නීත්‍යනුකූල නොවන පරිදි) දැඩි ලෙස අනුභව කරන්නෙහුය.

:20

එමෙන්ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහුය.

:21

එසේ නොව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි,

:22

තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේය.

:23

තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද?

:24

“අහෝ! මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇති ව (යහකම්) සිදු කරන්නට තිබුණා නොවේ” දැයි ඔහු පවසයි.

:25

එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නොකරයි.

:26

තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නොතබන්නේය.

:27

“අහෝ සැනසුමට පත් ආත්මය!

:28

නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට පත් කරනු ලබන්නෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු.

:29

එවිට (අල්ලාහ් මෙසේ පවසයි) නුඹ මාගේ ගැත්තන් අතරට යනු.

:30

තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු.