සියලුම ඉස්ලාම් පුස්තකාලය

82 - The Cleaving - Al-'Infiţār

:1

අහස පිපිරී වෙන් ව ගිය විට,

:2

තවද තාරුකාවන් වැටී විසිරී ගිය විට,

:3

තවද සමුද්‍රයන් පුපුරා යන විට,

:4

තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට,

:5

සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.

:6

අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මංමුළා කළේ කුමක් ද?

:7

(නුඹගේ පරමාධිපතිවූ) ඔහු නුඹ ව මවා පසුව නුඹව උසස් අන්දමට නිර්මාණය කර (ඔබේ හැඩරුව) නියමිත ආකාරයට සැකසුවේය.

:8

කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් නුඹව මැව්වේය.

:9

නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය.

:10

නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් ඇත.

:11

(ඔවුහු) ගෞරවනීය ලේඛකයෝ වෙති.

:12

ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝය.

:13

නියත වශයෙන්ම දැහැමියන් සුව සැපයෙහි ය.

:14

තවද නියත වශයෙන්ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.

:15

විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙන්නෝය.

:16

තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟවී සිටින්නන් නොවෙති.

:17

විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

:18

පසු ව ද විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

:19

එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් (හෝ පිහිටවීමේ) බලය නොදරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් වෙත ය.