සියලුම ඉස්ලාම් පුස්තකාලය

79 - Those who drag forth - An-Nāzi`āt

:1

සාහසික ලෙස (දුෂ්ටයන්ගේ ප්‍රාණය) ගලවන්නන් මත දිවුරමින්.

:2

තවද මෘදු ලෙස ගලවන්නන් මත ද දිවුරමින්.

:3

(කැරුණික ක්‍රියාවන්හි) පාවෙමින් පිහිනන්නන් මත ද දිවුරමින්.

:4

තරඟකාරී ලෙස තරඟ වදින්නන් මත ද (දිවුරමින්)

:5

තවද කටයුතු සැලසුම් කරන්නන් මත ද (දිවුරමින්)

:6

එදින මහත් කම්පනයකින් (ලොව) කම්පනය වේ.

:7

එයට අනුපිළිවෙළින් කම්පනය නැවත සිදු වනු ඇත.

:8

එදින හදවත් (බියෙන්) තැති ගනියි.

:9

ඔවුන්ගේ බැල්ම බියෙන් පවතී.

:10

“නියත වශයෙන්ම අපි පෙර තත්ත්වයටම නැවත හරවනු ලබන්න්නෝ වන්නෙමුදැ” යි ඔවුහු පවසති.

:11

“අප දිරා ගිය අස්ථි බවට පත්වූයේ නම් ද?”

:12

“එසේ නම් එය අලාභවන්ත හැරීමකි” යැයි ඔවුහු පවසති.

:13

එහෙත් එය එක් භයානක හඬක් පමණි.

:14

එවිට ඔවුහු (විනිශ්චය සඳහා) එළිමහන් තැනක සිටිති.

:15

මූසාගේ තොරතුරු (නබිවරය) ඔබට ලැබුණේද?

:16

ඔහුගේ පරමාධිපති ඔහු ව තුවා නම් පාරිශුද්ධ නිම්නයෙහි ඇමතූ විට,

:17

ඔබ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.

:18

එවිට ඔබ පිවිතුරු වීමට ඔබට (කැමැත්තක්) ඇත්දැයි විමසනු.

:19

තවද මා නුඹට මඟ පෙන්වන්නෙමි. එවිට නුඹ නුඹගේ පරමාධිපතිට බියබැතිමත් වෙයි.

:20

එවිට ඔහු (මූසා) ඔහුට මහා සළකුණ පෙන්වීය.

:21

නමුත් ඔහු (ෆිර්අවුන් එය)බොරු යැයි පවසා (ඔහුට)පිටුපෑවේය.

:22

පසු ව (ඔහුගෙන් වෙන් වී) පසු බැස ගොස් (ඔහුට හානි කිරීමට) වෑයම් කළේය.

:23

එවිට ඔහු (ඔහුගේ ජනයා) රැස් කොට (ඔවුන් ව) ඇමතුවේය.

:24

එවිට “මම නුඹලාගේ උසස් පරමාධිපති වෙමි“ යැයි ඔහු පැවසුවේය.

:25

එහෙයින් අල්ලාහ් මෙලොව හා පරලොව දඬුවමට ඔහු ව හසු කර ගත්තේය.

:26

නියත වශයෙන්ම (අල්ලාහ්ට) බියවන්නෙකුට එහි පාඩමක් ඇත.

:27

මැවීමට බලවත් වන්නේ නුඹලා ද නැතහොත් අහස ද? එය ඔහු(අල්ලාහ්) නිර්මාණය කළේය.

:28

ඔහු එහි වියන ඔසවා පසු ව එය නිවැරදි ව සැකසුවේය.

:29

තවද ඔහු එහි රාත්‍රිය (අඳුරෙන්) ආවරණය කර එහි දහවල හෙළි කළේය.

:30

තවද මහපොළොව ඉන් පසුව (නියමාකාරයෙන්) ඔහු එය දිග හැරියේය.

:31

ඔහු එයින් එහි ඇති ජලය ද එහි ඇති තණබිම් ද බිහි කළේය.

:32

තවද කඳු එය ඔහු ස්ථාවරව ස්ථාපිත කළේය.

:33

(එය) නුඹලාට හා නුඹලාගේ ගොවිපළ සතුන්ට භුක්ති විඳීමක් වශයෙනි.

:34

එහෙත් මහත් ව්‍යසනය පැමිණි විට,

:35

එදින මිනිසා තමන් (මෙලොව) ප්‍රයත්න දැරූ දෑ සිහිපත් කරන්නේය.

:36

තවද නරඹන්නන්හට නිරය ප්‍රත්‍යක්‍ෂ කරනු ලබයි.

:37

"එහෙයින් සීමාව උල්ලංඝනය කර"

:38

"මෙලොව ජීවිතය තෝරා ගත් අය වූ කලී"

:39

සැබැවින්ම නිරය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.

:40

"තවද තම පරමාධිපතිගේ සන්නිධාන(යේ පෙනී සිටීම)ට බිය වී තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගත් අය වූ කලී"

:41

සැබැවින්ම ස්වර්ගය වන එයමය (ඔවුන්ගේ) නිවහන වන්නේ.

:42

එම හෝරාව එය කවදා සිදුවන්නේ දැයි ඔවුහු ඔබගෙන් විමසති.

:43

ඒ පිළිබඳ පැවසීමට ඔබට කුම(න බලය)ක් තිබේද?

:44

එහි අවසන් තීන්දුව නුඹගේ පරමාධිපති වෙත ය.

:45

ඒ පිළිබඳ බිය වන්නන්ට සැබැවින්ම නුඹ අවවාද කරන්නෙක් පමණි.

:46

සැබැවින්ම ඔවුන් එදින (එය දකින විට) සවස් කාලයක් හෝ දිවා කාලයක් හෝ මිස (ලොවෙහි) රැඳී නොසිටියාක් මෙන් සිතනු ඇත.