සියලුම ඉස්ලාම් පුස්තකාලය

78 - The Tidings - An-Naba

:1

(නබිවරය) කුමක් පිළිබඳව ද ඔවුන් තමන් අතර විමසා සිටිනුයේ.

:2

මහඟු වූ ආරංචිය පිළිබඳව ය.

:3

එය ඔවුන් භේද බින්න වී සිටි දෑය.

:4

නොඑසේය. ඔවුහු මතු දැන ගන්නෝය.

:5

යළි නොඑසේය. ඔවුහු මතු දැන ගන්නෝය.

:6

අපි මහපොළොව ඇතිරිල්ලක් ලෙස පත් නොකළෙමු ද?

:7

තවද කඳු, කූඤ්ඤ ලෙස ද (පත් නොකළෙමු ද?)

:8

තවද අපි නුඹලා ව (ස්ත්‍රී පුරුෂ ලෙස) යුගල වශයෙන් නොමැව්වෙමු ද?

:9

තවද අපි නුඹලාගේ නින්ද විවේකයක් බවට පත් නොකළෙමු ද?

:10

තවද අපි රාත්‍රිය ආවරණයක් බවට පත් නොකළෙමු ද?

:11

තවද අපි දහවල ජීවනෝපාය (සලසා ගන්නක්) බවට පත් නොකළෙමු ද?

:12

තවද අපි නුඹලාට ඉහළින් ශක්තිමත් (අහස්) හතක් ඉදි නොකළෙමු ද?

:13

තවද අපි දීප්තියෙන් දැල්වෙන පහනක් බවට (සූර්යයා) පත් නොකළෙමු ද?

:14

තවද අපි මේඝ වලාවන්ගෙන් (වැසි) ජලය අධික ලෙස පහළ නොකළෙමු ද?

:15

එමගින් ධාන්‍ය (වර්ග) හා වෘක්ෂලතා ද හට ගනු පිණිස.

:16

තුරු පතරින් ගහන (සරුසාර) උයන් ද (හට ගනු පිණිස.)

:17

නියත වශයෙන්ම තීරණාත්මක දිනයට (අදාළ) කාලය නියම වී ඇත.

:18

සූර් (හොරණෑ‍ව) පිඹිනු ලබන දිනයේ දී නුඹලා කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.

:19

තවද අහස විවෘත කරනු ලැබේ. එවිට එය දොරටු බවට පත් වනු ඇත.

:20

කඳු (තිබූ තැන් වලින්) ඉවත් කරනු ලැබේ. එවිට එය මිරිඟුවක් මෙන් වනු ඇත.

:21

නියත වශයෙන්ම නිරය පහර දෙන ස්ථානයක් විය.

:22

(එය) සීමාව ඉක්මවා යන්නවුන් සඳහා නවාතැනක් වශයෙනි.

:23

එහි ඔවුහු යුග ගණනාවක්ම වෙසෙති.

:24

ඔවුහු එහි සිසිල හෝ පානය හෝ රස නොවිඳිති.

:25

නටන උණු දිය සහ (නිරයේ වැසියන්ගේ වණ) සැරව මිස. (වෙන කිසිවක් නැත)

:26

(එසේ ඔවුනට ලැබෙනුයේ) සුදුසු ප්‍රතිඵලයක් වශයෙනි.

:27

නියත වශයෙන්ම ඔවුහු විනිශ්චය අපේක්ෂා නොකරමින් සිටියහ.

:28

තවද ඔවුහු අපගේ වදන් දැඩි ලෙස බොරු යැයි පවසමින් ප්‍රතික්ෂේප කළෝය.

:29

තවද අපි සෑම දෙයක්ම ලිඛිත ව ලේඛණයෙහි සටහන් කළෙමු.

:30

“එබැවින් නුඹලා රස විඳිනු. එවිට කිසිවිටෙක දඬුවම මිස (අන් කිසිවක්) අපි නුඹලාට වැඩි නොකරන්නෙමු.” ‍(යැයි නිරයේ වැසියන්ට පවසනු ලැබේ.)

:31

නියත වශයෙන්ම බිය බැතිමතුන්ට ජයග්‍රහණය ද ඇත.

:32

වතු හා මිදි ද (ඇත.)

:33

තවද පියයුරු නෙරා ගිය සම වයසේ කන්‍යාවන් ද (සිටිති).

:34

(පානවලින්) පිරුණු කුසලාන ද ඇත.

:35

නිෂ්ඵල කථා බහක් හෝ (ඔවුනොවුන් අතර) කිසිදු බොරු කිරීමක් හෝ එහි ඔවුහු ශ්‍රවණය නොකරති.

:36

(එය) නුඹගේ පරමාධිපතිගෙන් වූ ප්‍රමාණවත් දායාදයක් වන ප්‍රතිඵලයකි.

:37

(එය) අහස්හි ද මහපොළොවෙහි ද ඒ දෙක අතර පවතින දෑහි ද පරමාධිපතියාණන් වන අපරිමිත දයාන්විතයාණන්ගෙනි. (ඔහු ඉදිරියේ) කථා කිරීමට ඔහුගෙන් ඔවුන් (කිසිවෙකු)ට බලය නොමැත.

:38

රූහ් (ජිබ්රීල්) හා මලක් (දේවදූත)වරුන් පෙළ ගැසී නැගිට සිටින දින. (එදින) අපරිමිත දයාන්විතයා අනුමැතිය දුන් කෙනෙකු හා සත්‍ය දෑ කථා කරන්නෙකු මිස (අන් කිසිවෙක්) කථා නොකරයි.

:39

එයමය සත්‍යය වූ දිනයයි. එබැවින් යමෙක් අභිමත කරන්නේද ඔහු තම රබ් (පරමාධිපති) වෙත ආපසු යන මාර්ගය තෝරා ගනිත්වා !

:40

නියත වශයෙන්ම සමීපයෙන් පවතින දඬුවම පිළිබඳ ව අපි නුඹලාට අවවාද කළෙමු. එදින මිනිසා තම දෙඅත් පෙරටු කළ දෑ දැක ගනී. තවද ප්‍රතික්ෂේප කරන්නා, “අහෝ ! මා පස් බවට පත් විය යුතු නොවෙම් දැ”යි පවසයි.