සියලුම ඉස්ලාම් පුස්තකාලය

76 - The Man - Al-'Insān

:1

මිනිසා වෙත නිසැකවම කාලයක් පැමිණ තිබේ, එහි ඔහු ගැන (මෙසේ යැයි ) පවසන්නට තරම් වස්තුවක් ලෙස (මිනිසා) නොසිටියේය.

:2

නියත වශයෙන්ම මුසු වූ ශුක්‍රාණු බිඳුවකින් අපි මිනිසා මැව්වෙමු. අපි ඔහු පරීක්ෂණයට ලක් කරන්නෙමු. එහෙයින් අපි ඔහු සවන් දිය හැකි හා බැලිය හැකි කෙනෙකු බවට පත් කළෙමු.

:3

එම මාර්ගය වෙත නියත වශයෙන්ම අපි ඔහුට මග පෙන්වූයෙමු. ඔහු කෘතවේදියෙකු ලෙස හෝ ගුණමකුවෙකු ලෙස හෝ සිටිය හැක.

:4

නියත වශයෙන්ම අපි දෙවියන් ප්‍රතික්ෂේප කළවුනට දම්වැල් ද ගෙල විලංගු ද ඇවිළෙන ගින්න ද සූදානම් කළෙමු.

:5

නියත වශයෙන්ම දැහැමියෝ එහි කපුරු මිශ්‍රැති (කුසලාන මෙන් වූ) භාජන වලින් පානය කරති.

:6

(එය) උල්පතකි. එමගින් අල්ලාහ්ගේ ගැත්තන් පානය කරති. එය ඔවුන් (කැමැති තැනකට නදියක් සේ) ගලා යන්නට සලස්වති.

:7

ඔවුහු (තමන්ගේ) භාරය ඉටු කරති. තවද එහි හානිය පැතිර පවතින දිනයට ඔවුහු බිය වෙති.

:8

තවද ඒ (ආහාර) කෙරෙහි වූ ඇල්මක් (ඔවුන් තුළ තිබුනද) දිළින්දාට ද අනාථයාට ද සිරකරුවාට ද ඔවුහු ආහාර සපයති.

:9

“අපි නුඹලාට ආහාර සපයනුයේ අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙනි. නුඹලාගෙන් කිසිදු ප්‍රතිඵලයක් හෝ කිසිදු තුති පිදුමක් හෝ අපි අපේක්ෂා නොකරමු” (යැයි පවසති.)

:10

අපගේ පරමාධිපති වෙතින් මුහුණෙහි අප්‍රසන්න හා පිළිකුල විදහා පාන දිනයකට නියත වශයෙන්ම අපි බියවෙමු.

:11

එහෙයින් අල්ලාහ් එදින නපුරෙන් ඔවුන් මුදවා ගන්නේය. තවද සතුට හා සොම්නස ඔවුන් හමුවන්නට සලසන්නේය.

:12

ඔවුන් ඉවසා සිටි බැවින් ස්වර්ග උයන හා සේද රෙදි ඔවුනට ඔහු ප්‍රතිඵල වශයෙන් පිරිනැමුවේය.

:13

ඔවුහු ඇදන් මත හාන්සිවෙමින් සිටිති. ඔවුහු එහි හිරු රශ්මිය හෝ අධික සීතල හෝ නොදකිනු ඇත.

:14

තවද එහි හෙවණ ඔවුන් මත පහත් ව පවතී. වලු බර පලතුරු පොකුරුද එහි එල්ලී පවතී.

:15

රිදියෙන් වූ භාජන හා පළිඟු වලින් යුත් ගුරුලේත්තු රැගෙන ඔවුන් වටා ගමන් කරවනු ලබති.

:16

එය රිදියෙන් වූ පළිඟුය. ඔවුහු එහි ප්‍රමාණය සකස් කර ගන්නෝය.

:17

සන්ජබීල් (ඉඟුරු) මිශ්‍රැති පානයෙන් යුත් කුසලාන එහි ඔවුනට පානය සඳහා දෙනු ලබති.

:18

එහි සල්සබීල් යැයි හඳුන්වනු ලබන උල්පතක්ද වෙයි.

:19

සදා යෞවනයේ පසු වන දරුවන් ඔවුන් වටා යති. නුඹ ඔවුන් දුටු විට එය විසිරනු ලැබූ මුතු යැයි සිතනු ඇත.

:20

තවද නුඹ එහි දුටු විට අතිශය ප්‍රීතිය හා විශාල රාජ්‍යයක් ලෙස නුඹ දකිනු ඇත.

:21

සිනිඳු හා කොළ පැහැති ඝන සේද ඇඟලුම් ඔවුන් මත වෙයි. ඔවුනට රිදියෙන් වූ වළලු පලන්ඳවනු ලබති. තවද ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිසිදු පානය සපයනු ඇත.

:22

නියත වශයෙන්ම මෙය නුඹලා සඳහා වූ ප්‍රතිඵලයක් විය. තවද නුඹලාගේ උත්සාහය තුති පුද කරනු ලබන්නක් විය.

:23

නියත වශයෙන්ම අල් කුර්ආනය අපි නුඹ වෙත කොටස් වශයෙන් පහළ කළෙමු.

:24

එහෙයින් නුඹගේ පරමාධිපතිගේ නීතිය වෙනුවෙන් ඉවසීමෙන් සිටිනු. ඔවුන් අතුරින් කිසිදු පාපියෙකුට හෝ දෙවියන් ප්‍රතික්ෂේප කළ කිසිදු අයකුට හෝ නුඹ අවනත නොවනු.

:25

තවද උදේ සවස නුඹේ පරමාධිපතිගේ නාමය සුවිශුද්ධ කරනු.

:26

තවද රාත්‍රියේදී ඔහුට සුජූද් කරනු. තවද රාත්‍රියේදී දිගු වේලාවක් නුඹ ඔහු සුවිශුද්ධ කරනු.

:27

නියත වශයෙන්ම ඔවුහු මෙලොවට ප්‍රිය කරති. නමුත් ඔවුනට පසු ව ඇති බැරෑරුම් දිනය අත හැර දමති.

:28

අපි ඔවුන් මැව්වෙමු. තවද ඔවුන්ගේ හන්දිපත් ශක්තිමත් කළෙමු. තවද අප අභිමත කළේ නම් ඔවුන් වෙනුවට ඔවුන් මෙන් වූවන් අපි වෙනස් කොට පත් කරන්නෙමු.

:29

නියත වශයෙන්ම මෙය උපදෙසකි. එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද තම පරමාධිපති වෙත මාර්ගයක් ලෙස ගනිත්වා !

:30

අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස නුඹලා අභිමත නොකරන්නෙහුය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. අති සියුම් ඥානවන්තය.

:31

ඔහු අභිමත කරන අය ඔහුගේ කරුණාව තුළට ඇතුළත් කරනු ඇත. තවද අපරාධකරුවන් වනාහි ඔවුනට වේදනීය දඬුවමක් ඔහු සූදානම් කර ඇත.