සියලුම ඉස්ලාම් පුස්තකාලය

75 - The Resurrection - Al-Qiyāmah

:1

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය මත දිවුරා පවසමි.

:2

තවද තමන් මත අවලාද නගන ආත්මය මත දිවුරමි.

:3

ඔහුගේ අස්ථි අපි එක්රැස් නොකරන්නේම යැයි මිනිසා සිතන්නේද?

:4

එසේ නොව ඔහුගේ ඇඟිලි තුඩු පවා සකස් කිරීමට අපි ශක්තිවන්තයින් වෙමු.

:5

නමුත් මිනිසා ඔහු ඉදිරියේ පාපයන් කිරීමට සිතයි.

:6

“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය කවදා දැ”යි ඔහු විමසා සිටියි.

:7

දෘෂ්ටිය (නීලංකාරවී) මුළාවී ගිය විට,

:8

තවද සඳු(ගේ අලෝකය) ගිලුනු විට,

:9

තවද හිරු හා සඳු එක් කරනු ලැබූ විට,

:10

පලා යන තැන කොතැනදැයි එදින මිනිසා විමසනු ඇත.

:11

එසේ නොව සරණ පතන තැනක් (ඔහුට) නොමැත.

:12

එදින වාසස්ථානය නුඹගේ පරමාධිපති වෙත පිහිටයි.

:13

ඔහු කලින් කළ දෑ හා ඔහු ප්‍රමාද කොට කළ දෑ සම්බන්ධයෙන් එදින මිනිසාට දන්වනු ලැබේ.

:14

එසේ නොව, තමන් ගැන මිනිසා සාක්ෂි දරන්නේය.

:15

ඔහු සමාවට හේතූන් ඉදිරිපත් කළ ද

:16

එය (කුර්ආනය කියවීමට) ඉක්මන් කරනු පිණිස නුඹගේ දිව එයින් නොසොල්වනු.

:17

එය ගොනු කිරීම ද එය පාරායනය කරවීම ද නියත වශයෙන්ම අප වෙත වූ වගකීමකි.

:18

එහෙයින් අපි එය පාරායනය කළ විට නුඹ එහි පාරායනය අනුගමනය කරනු.

:19

පසු ව එය පැහැදිලි කිරීම ද නියත වශයෙන්ම අප වෙත පැවරුණු වගකීමකි.

:20

නමුත් නුඹලා මෙලොව ප්‍රිය කරන්නෙහුය.

:21

තවද නුඹලා මතු ලොව අත හැර දමන්නෙහුය.

:22

එදින ඇතැම් මුහුණු දීප්තිමත්ව පවතී.

:23

තම පරමාධිපති දෙස බලමින් සිටිති.

:24

තවද එදින ඇතැම් මුහුණු (අඳුරින් වෙළී) විරූප ව පවතී.

:25

කොඳු ඇට පෙළ කඩා දමන යමක් එයට සිදු කරනු ලබනු ඇතැයි සිතති.

:26

එසේ නොව (ප්‍රාණය) උගුරු දණ්ඩ දක්වා ළඟා වූ විට

:27

තවද ආරක්ෂා කරන්නා කවුරුන් දැයි විමසනු ලැබු විට

:28

නියත වශයෙන්ම තමන් වෙන් ව යෑම එය වේ යැයි ඔහු සිතූ විට

:29

කෙණ්ඩය කෙණ්ඩය සමග ඇමුණුනු විට

:30

එදින මෙහෙය වනු ලබන ස්ථානය නුඹගේ පරමාධිපති වෙතය.

:31

තවද ඔහු සත්‍ය තහවුරු කළේ නැත. තවද ඔහු සලාතය ඉටු කළේ ද නැත.

:32

නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.

:33

පසු ව ඔහු තම පවුල වෙත අහංකාරකම් පාමින් ගියේය.

:34

නුඹට ඛේදයයි. නුඹට ඛේදයමයි!

:35

පසු ව ද නුඹට ඛේදයයි! නුඹට ඛේදයමයි!

:36

නිකරුණේ ඔහු අත හැර දමනු ලබනු ඇතැයි මිනිසා සිතන්නේ ද?

:37

විදිනු ලබන ශුක්‍රාණු බිඳුවක් ලෙස ඔහු නොසිටියේ ද?

:38

පසු ව ඔහු එල්ලී පවතින ලේ කැටියක් බවට පත් විය. පසු ව ඔහු මවා සැකසුවේය.

:39

පසු ව එයින් ස්ත්‍රිය හා පිරිමියා යන යුගලය ඇති කළේය.

:40

(මේ සියලු දේ කළ) ඔහු, මළවුන් නැගිටුවීමට හැකියාව ඇත්තා බවට (සාක්ෂියක් ලෙස) පිහිටා නොමැති ද?