සියලුම ඉස්ලාම් පුස්තකාලය

69 - The Reality - Al-Ĥāqqah

:1

තිරසාර සිදුවීම වනාහි,

:2

එම තිරසාර සිදුවීම යනු කුමක් ද?

:3

තිරසාර සිදුවීම යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

:4

(හදවත්) තිගැස්සීමට පත් කරවන දිනය පිළිබඳ සමූද් ජනයා හා ආද් ජනයා බොරු කළෝය.

:5

සමූද් ජනයා වූ කලී ඔවුහු මහා හඬකින් විනාශ කරනු ලැබූහ.

:6

තවද ආද් ජනයා වූ කලී ඔවුන් දැඩි හඬකින් යුත් සුළී සුළඟකින් විනාශ කරනු ලැබීය.

:7

එය ඔවුන් වෙත රාත්‍රී හතක් හා දහවල් අටක් අඛණ්ඩ ව ඔහු එවීය. එවිට ඔවුන් බොල් වූ ඉඳි ගස් වල කඳන් මෙන් එහි විනාශයට පත් ව සිටිනු නුඹ දකින්නට තිබුණි.

:8

එවිට ඔවුන්ගෙන් ඉතිරි ව සිටින කිසිවකු හෝ නුඹ දුටුවේද?

:9

ෆිර්අවුන් හා ඔහුට පෙර වූවන් ද උඩුයටිකුරු පෙරළා දමනු ලැබූවන් ද වැරදි කරමින් පැමිණියෝය.

:10

ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ දූතයාණන්ට පිටුපෑහ. එහෙයින් බිහිසුණු ග්‍රහණයකින් ඔහු ඔවුන් හසු කළේය.

:11

ජලය ඉක්මවා ගිය කල්හි නියත වශයෙන්ම අපි නුඹලා ව යාත්‍රාවේ ඉසිලුවෙමු.

:12

එය අපි නුඹලාට මෙනෙහි කිරීමක් බවට පත් කරනු පිණිස හා ධාරණය කරන සවන් එය ධාරණය කරනු පිණිසය.

:13

හොරණෑවෙහි එක් පිඹුමක් පිඹිනු ලැබූ විට,

:14

තවද මහපොළොව හා කඳු ඔසවනු ලැබ ඒ දෙක එක පහරින් හෙළනු ලබන විට,

:15

එදින සිදු වන දෑ සිදු වනු ඇත.

:16

තවද අහස පැළී යනු ඇත. එවිට එය එදින දුර්වල ව පවතී.

:17

තවද ඒ අවට පැතිවල මලක්වරුන් වෙති. එදින ඔවුනට ඉහළින් (ප්‍රබල මලක්වරුන්) අට දෙනෙකු නුඹේ පරමාධිපතිගේ අර්ෂ් (හෙවත් රාජධානිය) ඔසවා ගෙන සිටිති.

:18

එදින නුඹලා ඉදිරිපත් කරනු ලබන්නෙහුය. සඟවන කිසිවක් නුඹලා අතුරින් සැඟවෙන්නේ නැත.

:19

තම වාර්තාව තම දකුණතට දෙනු ලැබූ අය වූ කලී “ඕ මෙන්න! මාගේ වාර්තාව නුඹලා කියවා බලනු.

:20

නියත වශයෙන්ම මාගේ විනිශ්චයට මම මුහුණ දෙන බව සැබැවින්ම මම සිතුවෙමි” යැයි පවසයි.

:21

එවිට ඔහු තෘප්තිමත් ජීවිතයෙහි සිටියි.

:22

උසස් (ස්වර්ග) උයනෙහි වෙයි.

:23

එහි වලුබරින් යුත් පලතුරු සමීපයෙන් පවතියි.

:24

“පසු ගිය දින වල ( ලොවේදී) නුඹලා ගත කළ (හොඳ දෑ) හේතුවෙන් නුඹලා සතුටින් අනුභව කරනු. තවද පානය කරනු” (යැයි පවසනු ලැබේ.)

:25

තවද තම වාර්තා පොත තම වමතට දෙනු ලැබූ අය වූ කලී, “අහෝ ! මාගේ විනාශය ! මාගේ වාර්තාව මට දෙනු නොලැබුවේ නම් !” යැයි පවසයි.

:26

“තවද මාගේ විනිශ්චය කුමක්දැයි මා නොදනී නම් !” (කොතරම් අගනේද?)

:27

“අහෝ ඛේදය! එය(මරණය) අවසන් තීන්දුව වූයේ නම්” (කොතරම් අගනේද?) යැයි පවසයි.

:28

“මාගේ ධනය මට කිසිදු ඵලක් නොදුන්නේය.”

:29

“මාගේ බලය මගෙන් පහ ව ගොස් ඇත.” (යැයි තවදුරටත් පවසයි.)

:30

“නුඹලා ඔහු ව ග්‍රහණය කරනු. තවද ඔහුට විලංගු දමනු.”

:31

පසු ව ඔහු ව නිරයට ඇද දමා පුළුස්සනු.

:32

ඔහු රියන් හැත්තෑවක් දිගු දම්වැලක් තුළ වෙයි. නුඹලා ඔහු ව එහි බැඳ දමනු.

:33

නියත වශයෙන්ම ඔහු සර්ව බලධාරී අල්ලාහ් විශ්වාස නොකරන්නෙකු විය.

:34

තවද දිළිඳුන්ට ආහාර සැපයීමට දිරි ගැන්වූයේ ද නැත.

:35

එහෙයින් අද දින ඔහුට මෙහි කිසිදු සමීප මිතුරෙකු නැත.

:36

මාගේ (තුවාලවල) සැරව මිස වෙනත් කිසිදු ආහාරයක් ද නැත.

:37

වැරදි කළවුන් මිස එය කිසිවකු අනුභව නොකරයි.

:38

නුඹලා දකින දෑ මත ද මම දිවුරමි.

:39

නුඹලා නොදකින දෑ මත ද මම දිවුරමි.

:40

නියත වශයෙන්ම මෙය ගෞරවනීය දූතයකුගේ ප්‍රකාශයකි.

:41

තවද එය කවියකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා විශ්වාස කරනුයේ ස්වල්පයකි.

:42

එය හූනියම්කරුවකුගේ ප්‍රකාශයක් ද නොවෙයි. නුඹලා මෙනෙහි කරන්නේ ස්වල්පයකි.

:43

(එය) සකල ලෝකයන්ගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවකි.

:44

ප්‍රබන්ධයන් සමහරක් අප වෙත ඔහු ගොතා පැවසුවේ නම්,

:45

අපි ඔහු ව දකුණතින් හසුකර ගන්නෙමු.

:46

පසු ව ප්‍රාණ නාළය ඔහුගෙන් අපි කපා හරින්නෙමු.

:47

එවිට නුඹලා අතුරින් කිසිවෙකු හෝ (අපගෙන්) ඔහුව වළක්වන්නන් ලෙස නොසිටියි.

:48

තවද නියත වශයෙන්ම එය බිය බැතිමතුන්හට මෙනෙහි කිරීමකි.

:49

නියත වශයෙන්ම නුඹලා අතුරින් මුසාවාදීන් සිටින බව සැබැවින්ම අපි දනිමු.

:50

තවද නියත වශයෙන්ම එය දේව ප්‍රතික්ෂේපකයින්හට බලවත් ශෝකයකි.

:51

තවද නියත වශයෙන්ම එය ස්ථීර සත්‍යයකි.

:52

එහෙයින් නුඹගේ සර්ව බලධාරී පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.