සියලුම ඉස්ලාම් පුස්තකාලය

68 - The Pen - Al-Qalam

:1

නූන්, පෑන හා ඔවුන් ලියන දෑ මත දිවුරමින්,

:2

නුඹේ පරමාධිපතිගේ පිහිටෙන් නුඹ උන්මත්තකයකු නොවේ.

:3

තවද සැබැවින්ම නුඹට නිමක් නොමැති ප්‍රතිඵලයක් ඇත.

:4

තවද නියත වශයෙන්ම නුඹ අති උතුම් ගතිගුණ මත සිටින්නෙහිය.

:5

නුඹ මතු දකිනු ඇත. තවද ඔවුහුද මතු දකිනු ඇත.

:6

නුඹලා අතුරින් කවරෙකු පීඩාවෙන් පෙළෙන්නේදැයි (මතු දකිනු ඇත).

:7

නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනැවින් දන්නාය. තවද යහමග ලද්දවුන් පිළිබඳ ව ද මැනැවින් දන්නාය.

:8

එහෙයින් නුඹ බොරු කළවුනට අවනත නොවනු.

:9

නුඹ ලිහිල් කළෙහි නම් එවිට ඔවුහුද ලිහිල් කරන්නට කැමති වෙති.

:10

තවද අධික වශයෙන් දිවුරා සිටින නීච සෑම කෙනෙකුටම නුඹ අවනත නොවනු.

:11

ඔහු දොස් නගන්නෙකි. කේලාම් කියමින් සැරිසරන්නෙකි.

:12

යහපත වළක්වන්නෙකි. සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. පාපිෂ්ඨයෙකි.

:13

හිතුවක්කාරයෙකි. ඊටත් වඩා ඔහු අවජාතකයෙකි.

:14

ඔහු වස්තුව හා දරුවන් සතු ව සිටි කෙනෙකු වූ බැවින්,

:15

ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ගොතපු කතා යැ”යි කියයි.

:16

හොඬවැල මත අපි ඔහුට සලකුණු තබන්නෙමු.

:17

උයන් වැසියන් අපි පරීක්ෂාවට ලක් කළාක් මෙන්ම නියත වශයෙන්ම අපි (මක්කාවාසීන් වන) මොවුන් ව ද පරීක්ෂාවට ලක් කළෙමු. තමන් උදෑසනම එය (අස්වැනු) නෙළන්නට දිවුරුම් කර ගත්තෝය.

:18

ඔවුන් අල්ලාහ් අභිමත කළේ නම් ( එනම් ඉන්ශා අල්ලාහ් ) යැයි ඔවුන් පැවැසුවේ නැත.

:19

ඔවුන් නිදමින් සිටිය දී නුඹගේ පරමාධිපතිගෙන් වූ වැටලීමක් එය වටලා ගත්තේය.

:20

එවිට එය (ගිනිබත් වී) ඝනාන්ධකාරයක් මෙන් විය.

:21

ඔවුහු උදෑසන එකිනෙකා අමතන්නන් වූහ.

:22

නුඹලා නෙළන්නන් වූයෙහු නම් නුඹලාගේ ගොවි බිමට උදෑසන යා යුතු යැයි (අමතන්නන් වූහ.)

:23

(ඔවුන්) රහසිගත ව කතා කරමින් ගමන් කළෝය.

:24

එවිට අද දින නුඹලා වෙත කිසිදු දිළිඳෙකු එයට ඇතුළු නොවිය යුතු යැයි (ඔවුන් අතර කතා කරගත්හ).

:25

තවද නෙළීමට ශක්තිය ඇත්තන් ලෙසින් ඔවුහු උදෑසන පිටත් වූහ.

:26

එවිට ඔවුහු එය දුටු කල්හි නියත වශයෙන්ම අපි මුළා වූවෝ වෙමු යැයි පැවැසූහ.

:27

එසේ නොව අපි අහිමි කරනු ලැබූවෝ වෙමු.

:28

නුඹලා (අල්ලාහ්ට) සුවිශුද්ධ කළ යුතු නොවේ දැයි මම නුඹලාට නොකීවෙම් දැ?යි ඔවුන් අතුරින් මධ්‍යස්ථ අයෙකු කීවේය.

:29

“අපගේ පරමාධිපති සුවිශුද්ධය. නියත වශයෙන්ම අපි අපරාධකරුවන් වූයෙමු” යැයි ඔවුහු පැවසූහ.

:30

එවිට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට දොස් නගමින් ඉදිරියට ආහ.

:31

“අහෝ! අපගේ විනාශය. නියත වශයෙන්ම අපි සීමාව ඉක්මවා යන්නන් වූයෙමු” යැයි ඔවුහු පැවසූහ.

:32

“මීට වඩා යහපත් දෙයක් අපගේ පරමාධිපති අපට පෙරළා දෙන්නට පුළුවන. නියත වශයෙන් අපි අපගේ පරමාධිපති වෙත අපේක්ෂා කරන්නන් වෙමු.”

:33

එම දඬුවම එලෙසමය. තවද මතු ලොවෙහි දඬුවම අති බිහිසුණුය. ඒ ගැන ඔවුහු දැන සිටියාහු නම්.

:34

නියත වශයෙන්ම බිය බැතිමතුන්ට සැප පහසුකම් සහිත ස්වර්ග උයන් ඔවුන්ගේ පරමාධිපති අබියස ඇත.

:35

එහෙයින් අවනත වූවන් වැරදිකරුවන් මෙන් අපි පත් කරන්නෙමුද?

:36

නුඹලාට කුමක්වීද? නුඹලා තීන්දු කරනුයේ කෙසේද?

:37

(ආදේශ කරන්නන් වන) නුඹලා හදාරන පුස්තකයක් නුඹලාට එහි වීද?

:38

නුඹලා තෝරා ගන්නා දෑ එහි නුඹලාට ඇතැයි සඳහන් වී තිබේ.

:39

එසේ නැතහොත් නුඹලා තීන්දු කරන දෑ නියත වශයෙන්ම නුඹලාට සතු යැයි පවසන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් පවතින ගිවිසුමක් අප වෙතින් නුඹලාට තිබේද? ( අප සතුව එවැනි දෙයක් නැත.)

:40

මෙයට ඇප වන්නේ ඔවුන්ගෙන් කවරෙකු දැයි නුඹ ඔවුන්ගෙන් විමසනු.

:41

එසේ නොමැතිනම් ඔවුනට හවුල්කරුවන් සිටිත් ද? ඔවුහු සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් ඔවුන්ගේ එම හවුල්කරුවන් ඔවුන් ගෙනෙත්වා!

:42

එදින කෙණ්ඩයෙන් නිරාවරණය කරනු ලැබේ. තවද සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලැබේ. එවිට ඔවුහු (ඒ සඳහා) හැකියාව නොදරති.

:43

ඔවුන්ගේ බැල්ම පහත හෙළී පවතී. නින්දාව ඔවුන් වෙළා ගනී. ඔවුන් නිරෝගිව සිටිය දී සුජූද් කිරීම සඳහා ඇරයුම් කරනු ලබන්නන් වූහ. (නමුත් ඔවුහු එය ප්‍රතික්ෂේප කළහ.)

:44

එහෙයින් නුඹ මා හා මෙම ප්‍රකාශය බොරු කළවුන් අතහැර දමනු. ඔවුන් නොදන්නා පරිදි පියවරෙන් පියවර අපි ඔවුන් හසු කර ගන්නෙමු.

:45

තවද මම ඔවුනට කාල අවකාශය දෙමි. නියත වශයෙන්ම මාගේ උපක්‍රමය තිරසාරය.

:46

එසේ නැතහොත් ඔවුන්ගෙන් නුඹ යම් කුලියක් ඉල්ලන්නෙහි ද? ඔවුන් ණය බරින් පෙළෙන්නන් වෙත්ද?

:47

එසේ නැතහොත් ඔවුන් වෙත ගුප්ත ඥානය තිබී ඔවුහු එය ලියන්නෝද?

:48

එහෙයින් නුඹගේ පරමාධිපතිගේ තීන්දුවට නුඹ ඉවසීමෙන් සිටිනු. තවද නුඹ මත්සයා හා සම්බන්ධ පුද්ගලයා මෙන් නොවනු. ඔහු ශෝකයට පත් කරනු ලැබූවෙකු ලෙසින් (තම පරමාධිපති) ඇමතූ අවස්ථාව සිහියට නගනු.

:49

ඔහුගේ පරමාධිපතිගේ පිහිට ඔහු වෙත ළඟා නොවූයේ නම් ඔහු අවමානයට ලක් කරනු ලැබූ තත්ත්වයේ නිසරු වෙරළට විසි කරනු ලබන්නට තිබුණි.

:50

නමුත් ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගත්තේය. තවද ඔහු ව දැහැමියන් අතරට පත් කළේය.

:51

තවද ප්‍රතික්ෂේප කළවුන් අනුශාසනාවට සවන් දුන් කල්හි ඔවුන්ගේ බැල්මෙන් ඔවුහු නුඹ ව ලිස්සා වට්ටන්නට තැත් කරති. “නියත වශයෙන්ම ඔහු උම්මත්තකයකු යැ”යි ඔවුහු පවසති.

:52

එහෙත් එය ලෝවැසියන්ට උපදෙසක් මිස නැත.