සියලුම ඉස්ලාම් පුස්තකාලය

54 - The Moon - Al-Qamar

:1

අවසන් හෝරාව සමීප වී ඇත. තවද චන්ද්‍රයා පැළී ගොස් ඇත.

:2

තවද යම් සංඥාවක් ඔවුන් දුටුවා වුවද, ඔවුන් පිටුපා (මෙය) ‘පැවත එන හූනියමක්’ යැයි පවසති.

:3

තවද ඔවුහු බොරු යැයි පවසා තම ආශාවන් අනුගමනය කරති. තවද (යහපත් හා අයහපත් යන) සෑම කරුණක්ම සිදුවන්නකි.

:4

තවද වළක්වාලන අවවාදයන් සහිත තොරතුරු ඔවුන් වෙත සැබැවින්ම පැමිණ ඇත.

:5

එහි ගැඹුරු ප්‍රඥාව ඇත. නමුත් එම අවවාදය ඵලක් නොවීය.

:6

එහෙයින් (නබිවරය) නුඹ ඔවුන්ගෙන් ඉවත් වනු (ඉස්රාෆීල් හෙවත්) කැඳවන්නා පිළිකුල් කරුණක් වෙත කැඳවන දිනයෙහි;

:7

ඔවුන්ගේ බැල්ම පහත හෙළමින්, නියත වශයෙන්ම ඔවුන් විසිරී සිටින පළඟැටියන් මෙන් මිනිවළ වල් වෙතින් බැහැර වෙති.

:8

කැඳවන්නා වෙත (බෙලි දිගු කරමින්) වේගයෙන් පැමිණෙන්නන් ලෙසින් (ඔවුහු බැහැර වෙති.) “මෙය දුෂ්කර දිනයකි” යැයි ප්‍රතික්ෂේපකයෝ පවසති.

:9

ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද බොරු කළෝය. එසේම ඔවුහු අපගේ ගැත්තා බොරු කොට උම්මත්තකයෙකු යැයි පැවසූහ. තවද ඔහු පලවා හරිනු ලැබීය.

:10

එවිට ඔහු නියත වශයෙන්ම “මා අබිබවා යනු ලැබුවෙමි. එහෙයින් මට උදව් කරනු මැනව!” යැයි ඔහුගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කළේය.

:11

එවිට අපි ධාරානිපාත වැසි ජලයෙන් අහස්හි දොරවල් විවෘත කළෙමු.

:12

තවද අපි මහපොළොවෙහි උල්පත් හට ගැන්වූයෙමු. එවිට පෙර නිර්ණය කරන ලද කරුණක් අනුව එම ජලය (වැසි ජලය සමග) එකතු විය.

:13

තවද ලෑලිවලින්ද, ඇනවලින්ද සකස්කරන ලද දෑ (නැව) මත උසුළා ( නූහ් සහ ඔහුගේ ජනයා ආරක්ෂාකර) ගත්තෙමු.

:14

ප්‍රතික්ෂේප කරනු ලැබ සිටි අයට විපාකයක් වශයෙන් අපගේ ඇස් ඉදිරිපිට එය යාත්‍රා විය.

:15

තවද සැබැවින්ම අපි එය (පසුකාලීන ජනයාට) සංඥාවක් වශයෙන් ඉතිරි කළෙමු. එහෙයින් උපදෙස් ලබන කිසිවකු හෝ වෙත් ද?

:16

එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වීද?

:17

තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?

:18

ආද් සමූහයා බොරු කළෝය. එහෙයින් මාගේ දඬුවම හා මාගේ අනතුරු ඇඟවීම කෙසේ වී ද?

:19

අභාග්‍යයමත් දිනක නියත වශයෙන්ම අපි ඔවුන් වෙත මහා ශබ්දයකින් යුත් සුළගක් අඛණ්ඩව එව්වෙමු.

:20

නියත වශයෙන්ම ඔවුන් මුලිනුදුරන ලද රටඉඳි ගස් කදන් මෙන් එය මිනිසුන්ව උගුලා (විසිකර) දැමීය.

:21

එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?

:22

තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?

:23

සමූද් ජනයා එම අවවාදය බොරු කළෝය.

:24

අපගෙන් එක් මිනිසෙකු වූ ඔහු ව ද අපි අනුගමනය කළ යුත්තේ? නියත වශයෙන්ම අපි එවිට නොමගෙහි හා දුෂ්කරත්වය තුළ වන්නෙමු.

:25

“අප අතුරින් ඔහු වෙත උපදෙස ඉදිරිපත් කරනු ලැබුවේ ද? එසේ නොව ඔහු ගර්වයෙන් යුත් මහා බොරුකාරයෙකි.”

:26

ගර්වයෙන් යුත් මහා බොරුකාරයා කවුරුන් දැයි හෙට (මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන) දින ඔවුහු දැන ගනු ඇත.

:27

නියත වශයෙන්ම අපි ඔටු දෙන ඔවුනට පරීක්ෂණයක් ලෙසින් එවන්නෝ වූයෙමු. එහෙයින් (සාලිහ්!) නුඹ ඔවුන් ගැන විමසිල්ලෙන් සිටිනු. තවද ඉවසීමෙන් සිටිනු.

:28

නියත වශයෙන්ම ඔවුන් අතර (හා ඔටු දෙන අතර ලිඳේ ඇති) ජලයට කොටසක් ඇත. සෑම පාන වාරයක්ම ඉදිරිපත් කරනු ලබන්නකි.

:29

එවිට ඔවුහු ඔවුන්ගෙන් වූ සගයකු කැඳවූහ. එවිට ඔහු (කඩුව) අමෝරා ගෙන ( ඔටු දෙනගේ) ගෙල නහර කපා හැරියේය.

:30

එවිට මාගේ දඬුවම හා මාගේ අවවාදය කෙසේ වී ද?

:31

නියත වශයෙන්ම අපි ඔවුන් වෙත එක් ගිගුරුම් හඬක් එව්වෙමු. එවිට ඔවුහු සත්ව ගාලක පෑගුණු පිදුරු මෙන් වූහ.

:32

තවද අල් කුර්ආනය අවවාද ලබා ගැනීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් අවවාද ලබා ගන්නා කිසිවකු හෝ වෙත් ද?

:33

ලූත්ගේ ජනයා ද එම අවවාදය බොරු කළෝය.

:34

නියත වශයෙන්ම අපි ඔවුන් වෙත ගල් කුණාටුවක් එව්වෙමු. (එය ඔවුන් විනාශ කළේය.) නමුත් ලූත්ගේ ජනයා වෙත හැර. අපි ඔවුන් අලුයම් කාලයේ මුදවා ගත්තෙමු.

:35

(මෙය) අප වෙතින් වූ ආශිර්වාදයක් වශයෙනි. අපි ගුණගරුක වූවනට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.

:36

තවද අපගේ ග්‍රහණය පිළිබඳ සැබැවින්ම ඔහු(ලූත්) ඔවුනට අවවාද කළේය. නමුත් එම අවවාදය පිළිබඳ ඔවුහු සැක (කොට තර්ක) කළෝය.

:37

ඔහුගේ ආගන්තුකයින් පිළිබඳ අශීලාචාර ලෙස හැසිරීමට ඔවුහු ඔහුට සැල කළෝය. එවිට අපි ඔවුන්ගේ ඇස් අන්ධ කළෙමු. එහෙයින් “මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු” (යැයි පැවසුවෙමු.)

:38

තවද ස්ථීර දඬුවමක් උදෑසන සැබැවින්ම ඔවුනට උදා විය.

:39

එහෙයින් මාගේ දඬුවම හා මාගේ අවවාදය නුඹලා භුක්ති විඳිනු.

:40

තවද අල් කුර්ආනය මෙනෙහි කිරීම සඳහා සැබැවින්ම අපි පහසු කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවකු හෝ වෙත් ද?

:41

තවද ෆිර්අවුන්ගේ ජනයා වෙත ද අවවාදය සැබැවින්ම පැමිණීයේය.

:42

ඔවුහු අපගේ වදන් සියල්ල බොරු කළෝය. එවිට අපි බලවත් බලධාරියාගේ ග්‍රහණයෙන් අපි ඔවුන් ග්‍රහණය කළෙමු.

:43

(මක්කා වැසියෙනි) නුඹලා අතර සිටින දේව ප්‍රතික්ෂේපකයින් (පෙර විසූ) ජනයාට වඩා ශ්‍රේෂ්ඨ ද? එසේ නැතහොත් (දඬුවමින් මිදීමට) ග්‍රන්ථයන් හි නුඹලාට (යම්කිසි) නිදහසක් ලබා දී තිබේද?

:44

එසේ නැතහොත් “අපි සියල්ලෝම එකිනෙකාට උදව් කරන සමුහයකි” (එයින් ජය ලබන්නෝ වෙමු) යැයි ඔවුහු පවසන්නෝ ද?

:45

මෙම පිරිස පරාජයට පත් කරනු ලබනු ඇත. තවද ඔවුහු පසුපස හැරී යනු ඇත.

:46

නමුත් අවසන් හෝරාව ඔවුනට ප්‍රතිඥා දෙනු ලැබූවකි. තවද අවසන් හෝරාව වඩාත් බිහිසුණුය. තවද වඩාත් අමිහිරිය.

:47

නියත වශයෙන්ම වැරදි කරුවෝ නොමගෙහිද, තවද (නිරා ගින්නේ) වේදනාවෙහිද සිටින්නාහ.

:48

එදින ඔවුන්ගේ මුහුණු නිරයේ ගින්න වෙත ඇදගෙන යනු ලැබේ නිරා ගින්නේ ස්පර්ශය නුඹලා භුක්ති විදිනු (යැයි පවසනු ලැබේ.)

:49

නියත වශයෙන්ම අපි සෑම දෙයක්ම එය ප්‍රමාණයකින් යුතු ව මැව්වෙමු.

:50

තවද අපගේ නියෝගය එක් වරක් පමණි. (එය) ඇසි පිය ගසන්නාක් මෙනි.

:51

තවද සැබැවින්ම අපි නුඹලා මෙන් වූවන් විනාශ කළෙමු. එහෙයින් මෙනෙහි කරන කිසිවෙකු හෝ වෙත් ද?

:52

තවද ඔවුන් සිදු කළ සියලු දෑ ලේඛන වල (ලියවී) ඇත.

:53

තවද කුඩා හා විශාල සියලු දෑ ලියා තබනු ලැබීය.

:54

නියත වශයෙන්ම බිය බැතිමතුන් ( ස්වර්ග) උයන්හි හා (එහි) ගඟ අතර සිටින්නෝය.

:55

සර්ව බලාධිකාරී රජු අබියස සත්‍යය ස්ථානයෙහිය.