All Islam Directory
1

සියලු ප්‍රශංසා අල්ලාහ්ටමය. ඔහු අහස් හා මිහිතලය මැව්වේය. තවද අන්ධකාරයන් හා ආලෝකය ඇති කළේය. පසුව (මෙසේ තිබිය දී) ප්‍රතික්ෂේපකයින් ඔවුන්ගේ පරමාධිපතිට (වෙනත් දෑ) සමාන කරති.

2

නුඹලා මැටියෙන් මවා පසුව (නුඹලාට හිමි) නියමිත (ජීවිත) කාලයක් ද තීන්දු කළේ ඔහු ය. (විනිශ්චය සඳහා වූ) නියමිත කාලය ඇත්තේ ද ඔහු අබියසය. ඉන් පසුව ද නුඹලා සැක කරන්නෙහුය.

3

තවද අහස්හි හා මිහිතලයේ අල්ලාහ් ඔහුය. නුඹලාගේ රහස්‍ය දෑ ද නුඹලාගේ ප්‍රසිද්ධ දෑ ද ඔහු දන්නේය. නුඹලා උපයන දෑ ද ඔහු දන්නේය.

4

තම පරමාධිපතිගේ සාක්ෂීන් අතරින් කුමන සාක්ෂියක් ඔවුන් වෙත පැමිණිය ද එය ඔවුහු පිටුපාමින් සිටියා මිස (ඒ ගැන සැලකිලිමත් වූයේ) නැත.

5

ඒ අනුව සත්‍ය ය ඔවුන් වෙත පැමිණි කල්හි ඔවුහු එය බොරු කළෝය. ඔවුහු කවර දෙයක් පිළිබඳ ව සමච්චල් කරමින් සිටියේ ද ඒ පිළිබඳ පුවත් ඔවුන් වෙත මතු පැමිණෙනු ඇත.

6

ඔවුනට පෙර පරම්පරා ගණනාවක් අප කෙසේ විනාශ කර දැමුවේ දැ යි ඔවුහු නුදුටුවෝද ? නුඹලාට අප නොදුන් පහසුකම් අපි ඔවුනට මිහිතලයේ සලසා දුන්නෙමු. ඔවුන් වෙත අහස් ජලය නොකඩවා එවීමු. ඔවුනට පහළින් ගලා බස්නා ගංගාවන් ඇති කළෙමු. පසුව ඔවුන්ගේ පාපකම් හේතුවෙන් අපි ඔවුන් ව විනාශ කළෙමු. තවද ඔවුනට පසුව අපි වෙනත් පරම්පරාවක් බිහි කළෙමු.

7

පත්‍රිකාවක ලියන ලද පුස්තකයක් අපි නුඹ වෙත පහළ කර එය ඔවුන් ඔවුන්ගේ අත් වලින් ස්පර්ශ කර බැලුව ද මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටින්නට තිබිණි.

8

මොහු වෙත (සාක්ෂි දැරීම සඳහා) මලාඉකාවරයෙකු පහළ කරනු ලැබිය යුතු නොවේ දැ යි ඔවුහු පැවසූහ. එසේ අපි මලාඉකාවරයෙකු පහළ කළේ නම් (ඔවුන්ගේ) විෂය තීන්දු කරනු ලබනු ඇත.පසුව ඔවුනට අවකාශ දෙනු නොලබනු ඇත.

9

අප එසේ මලාඉකාවරයෙකු පත් කළේ නම් මිනිසෙකුගේ ස්වරූපයෙන්ම ඔහු ව අපි පත් කරන්නෙමු. (දැන්) ඔවුන් ව්‍යාකූල ව සිටින අයුරින් ම (එවිට ද අප) ඔවුන් ව ව්‍යාකූලත්වයට පත් කරන්නෙමු.

10

(නබිවරය !) නුඹට පෙර සිටි රසූල්වරුන් ද සමච්චලයට ගනු ලැබූහ. කවර දෙයක් සම්බන්ධ යෙන් ඔවුහු සමච්චල් කරමින් සිටියෝ ද එයම එසේ උපහාස කළ අය ව ග්‍රහණය කළේය.

11

(නබිවරය!) මහපොළොවෙහි සැරිසරා පසුව බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ යි අවධානයෙන් බලනු යැයි නුඹ පවසනු.

12

අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ කවුරුන් සතු දැ යි නුඹ අසනු. සියල්ල අල්ලාහ් සතුය යැයි පවසනු. (අල්ලාහ්) තමන් වෙත කරුණාව නියම කර ගත්තේය. සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු නුඹලා ව එක් රැස් කරනු ඇත. එහි කිසිදු සැකයක් නැත. තමන් තමන්ටම අලාභහානි කර ගත්තවුන් වන ඔවුහු විශ්වාස නොකරති.

13

තවද රාත්‍රියෙහි හා දහවලෙහි වාසය කරන දෑ ඔහු සතුය. තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.

14

අල්ලාහ්ගෙන් තොරව (වෙනත් කෙනෙකු) භාරකරු වශයෙන් මම ගන්නෙම්ද? (ඔහු) අහස් හා මිහිතලයේ නිර්මාපකයාය. තවද ඔහු ආහාර සපයයි. (කිසිවෙකු විසින්) ඔහුට ආහාර සපයනු නොලැබේ යැයි නුඹ පවසනු. සැබැවින්ම (අල්ලාහ්ට) අවනත වූවන්ගෙන් මා පළමු වැන්නා වීමට මම අණ කරනු ලැබුවෙමි. තවද නුඹලා කිසිකලෙක ආදේශ තබන්නන් අතුරින් (කෙනෙකු) නොවනු.

15

මාගේ පරමාධිපතිට මා පිටුපෑවේ නම් අති මහත් දිනයේ (නියම වන) දඬුවමට මම බිය වෙමි යැයි පවසනු.

16

කවරෙකු එදින එයින් (එම දඬුවමින්) වෙනතකට යොමු කරනු ලබන්නේ ද එවිට සැබැවින්ම (අල්ලාහ්) ඔහුට දයාව දැක්වීය. පැහැදිලි විජයග්‍රහණය එයයි.

17

යම් හිංසනයකින් අල්ලාහ් ඔබ ව ග්‍රහණය කරන්නේ නම් එවිට ඔහු හැර එය ඉවත් කරන වෙනත් කිසිවෙකු නොමැත. යම් යහපතකින් ඔබ ව ග්‍රහණය කරන්නේ නම් එවිට ඔහු සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය.

18

තම ගැත්තන්ට ඉහළින් සිට සර්වබලධාරී වන්නේ ඔහුය. තවද ඔහු ප්‍රඥාවන්තය (සියලු තොරතුරු) මැනවින් දන්නාය.

19

(නබිවරය) සාක්ෂියේ වඩාත් ප්‍රබල වනුයේ කුමක් දැ යි නුඹ අසනු. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරු අල්ලාහ් වීම යැයි පවසනු. තවද මෙම කුර්ආනය මට වහී (දේව පණිවිඩ) වශයෙන් දෙනු ලැබීය. (එය) මෙමගින් නුඹලාට හා මෙය ලබන අයට මම අවවාද කරනු පිණිසය. අල්ලාහ් සමඟ වෙනත් දෙවිවරුන් සිටිනු ඇතැයි සැබැවින්ම නුඹලා සාක්ෂි දරන්නෙහුද? (නැත. එලෙස) මට සාක්ෂි දැරිය නොහැකැයි නුඹ පවසනු. එකම දෙවියා ඔහු ම යැයි ද සැබැවින්ම මම නුඹලා ආදේශ තබන දැයින් නිදොස් යැයි ද නුඹ පවසනු.

20

කවරෙකුට අපි පුස්තකය පිරිනැමුවෙමු ද ඔවුහු තම දරුවන් හඳුනන්නාක් මෙන් මොහු (අල්ලාහ්ගේ දූතයාණන් බ)ව හඳුනති. තමන් තමන්ට ම අලාභහානි කර ගත්තවුන් වන ඔවුහු විශ්වාස නොකරති.

21

අල්ලාහ් වෙත බොරු ගොතන්නන් හෝ ඔහුගේ වදන් බොරු කරන්නන්ට වඩා මහා අපරාධකරුවෝ කවරහු ද? සැබැවින්ම අපරාධකරුවන් ජය නොලබති.

22

තවද එදින ඔවුන් සියලු දෙනා අප එක් රැස් කොට පසුව ආදේශ කළවුන්ගෙන් නුඹලා (දෙවියන් යැයි ) සිතා සිටි නුඹලාගේ හවුල්කරුවන් කොහේ දැ යි අපි ආදේශ කළවුන්ගෙන් විමසන්නෙමු.

23

පසුව අල්ලාහ් මත දිවුරා පවසන්නෙමු. අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම අපි ආදේශ තබන්නන් ලෙස නොසිටියෙමු යැයි ඔවුහු පැවසීම හැර ඔවුන්ගේ අර්බුදය වෙනත් කිසිවක් නොවනු ඇත.

24

(නබිවරය!) තමන්ට එරෙහි ව ඔවුහු බොරු පවසනුයේ කෙසේ දැ යි බලනු. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් ව නොමඟ යැවීය.

25

තවද ඔවුන් අතුරින් නුඹ වෙත සවන් දෙන (මෙන් රඟපාන) අය ද වෙති. එය ඔවුනට නොවැටහෙන පරිදි අපි ඔවුන්ගේ හදවත් මත ආවරණයක් ද ඔවුන්ගේ කන් තුළ බිහිරි බව ද ඇති කළෙමු. තවද ඔවුහු සියලු සාධක දුටුවද ඒවා ඔවුහු විශ්වාස නොකරති. නුඹ වෙත ඔවුහු පැමිණි විට නුඹ සමඟ ඔවුහු වාද කරනු ඇත. මෙය මුතුන් මිත්තන්ගේ ගෙතූ දෑ මිස නැතැයි ප්‍රතික්ෂේප කළවුන් පවසති.

26

තවද ඔවුහු එයින්(සත්‍යයෙන්) වළක්වාලති. ඔවුන් ද එයින් දුරස් ව සිටිති. ඔවුහු විනාශ කරනුයේ ඔවුන් ව ම මිස නැත. තවද ඔවුහු (ඒ බව) වටහා නොගනිති.

27

නිරා ගින්නෙහි ඔවුන් සිටුවා තබනු ලැබූ විට නුඹ දුටුවේ නම් එවිට ඔවුහු “අහෝ! අපගේ විනාශය, අප නැවත හරවා යවනු ලබන්නේ නම් ! (කෙතරම් හොඳ ද ! එවිට) අපි අපගේ පරමාධිපතිගේ වදන් බොරු නොකරන්නෙමු. තවද අපි විශ්වාසවන්තයින් අතුරින් වන්නෙමු යැ’’ යි පවසා සිටිති.

28

නමුත් කලින් ඔවුන් සඟවමින් සිටි දෑ ඔවුනට හෙළි විය. තවද ඔවුන් නැවත හරවා යවනු ලැබුව ද කවර දෙයකින් ඔවුන් ව වළක්වනු ලැබුවේ ද ඒ වෙතටම හැරී යනු ඇත. තවද නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝය.

29

තවද මෙය අපගේ ලෞකික ජීවිතය මිස නැත. තවද අප (මිය ගිය පසු) නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු යැයි ඔවුහු පැවසුවෝය.

30

තවද ඔවුහු තම පරමාධිපති ඉදිරියේ සිටවනු ලැබූ අවස්ථාව නුඹ දුටුවේ නම් "මෙය සත්‍යය නොවේ දැ" යි ඔහු විමසා සිටියි. අපගේ පරමාධිපතියාණන් මත දිවුරා පවසමු. (එය) එසේය යැයි පවසති. එසේ නම් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් මෙම දඬුවම නුඹලා භුක්ති විඳිනු යැයි ඔහු පවසනු ඇත.

31

සැබැවින්ම අල්ලාහ් මුණ ගැසීම බොරු යැයි ප්‍රකාශ කළවුන් අලාභ වින්දහ. අවසන් හෝරාව අනපේක්ෂිත ව ඔවුන් වෙත පැමිණි විට ඔවුන් ඔවුන්ගේ (පාප) බර ඔවුන්ගේ පිට මත ඔසවා ගනිමින් අහෝ ! අපි මෙ(ලොවෙ)හි අතපසු කළ දෑ හි විනාශය ! යැයි පවසති. ඔවුන් ඔසවා ගන්නා දෑ නපුරු නොවේ ද?

32

මෙලොව ජීවිතය කෙළිලොල් හා පුහුවක් මිස (වෙනත් කිසිවක්) නැත. මතු ලොව නිවහන දේව බිය හැඟීමෙන් කටයුතු කරන්නන්ට වඩාත් ශ්‍රේෂ්ඨය. නුඹලා (ඒ බව) වටහා ගත යුතු නොවේ ද?

33

(නබිවරය !) ඔවුන් පවසන දෑ නුඹ දුකට පත් කරනු ඇතැයි සැබැවින්ම අපි දනිමු. සැබැවින්ම ඔවුහු නුඹ ව බොරු නොකළෝය. නමුත් අපරාධකරුවන් අල්ලාහ්ගේ වදන් පිටුපානු ඇත.

34

නුඹට පෙරද රසූල්වරුන් බොරු කරනු ලැබූහ. නමුත් අපගේ උදව් ව ඔවුන් වෙත පැමිණෙන තෙක් ඔවුන් බොරු කරනු ලැබූ දෑ හා ඔවුන් හිංසා පීඩාවට ලක් වූ දෑ ඉවසා දරා ගත්හ. අල්ලාහ්ගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. තවද සැබැවින්ම රසූල්වරුන්ගේ තොරතුරු ඔබ වෙත පැමිණ ඇත.

35

ඔවුන්ගේ පිටුපෑම නුඹ වෙත දරුණු වූයේ නම් එවිට ඔබට හැකියාව තිබේ නම් මහපොළොවෙහි උමගක් සොයා හෝ අහස මත ඉනිමගක් තබා නැග යාමෙන් හෝ ඔවුන් වෙත ඔබ සාධකයක් රැගෙන පැමිණියද (ඔවුන් පිටුපාමින්ම සිටිති.) තවද අල්ලාහ් අභිමත කළේ නම් යහමඟ මත ඔවුන් ව රැස් කරන්නට තිබුණි. එබැවින් නුඹ අඥානයින් අතුරින් නොවනු.

36

(ඔබගෙන්) පිළිතුරු පතනුයේ ශ්‍රවණය කරන්නන් වෙති. මියගිය ඇත්තන් අල්ලාහ් නැවත නැගිටුවා පසුව ඔහු වෙතට ඔවුහු යොමු කරනු ලබති.

37

තවද (අප කැමති පරිදි) ඔහුගේ පරමාධිපතිගෙන් ඔහු වෙත සාධකයක් පහළ කරනු ලැබිය යුතු නොවේ දැ යි විමසති. (නබිවරය !) සැබැවින්ම අල්ලාහ් එසේ සාධකයක් පහළ කිරීමට ශක්තිවන්තය. නමුත් ඔවුන් ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.

38

ගොඩබිම සතෙකු හෝ වේවා තම තටු දෙක සලමින් පියාසර කරන පක්ෂියෙකු හෝ වේවා (උන් ද) නුඹලා මෙන් වූ සමූහයක් මිස නැත. පුස්තකයේ අපි කිසිවක් අත් නොහැරියෙමු. පසුව ඔවුන්ගේ පරමාධිපති වෙතට එක් රැස් කරනු ලබති.

39

අපගේ වදන් බොරු කළවුන් අන්ධකාරයන්හි බිහිරන් හා ගොළුවන් වෙති. අල්ලාහ් අභිමත කරන අය නොමඟ යන්නට ඉඩ හරියි. ඔහු අභිමත කරන අය ඍජු මාර්ගය මත තබයි.

40

(නබිවරය ඔවුන් අමතා) පවසන්න. "අල්ලාහ් වෙතින් දඬුවමක් නුඹලා හමුවට පැමිණියේ නම් නැතිනම් විනිශ්චය දිනය නුඹලා හමුවට පැමිණියේ නම් නුඹලා අල්ලාහ් හැර වෙනත් අයවලුන්වද නුඹලා අඬගසන්නේ? යන වග නුඹලා සත්‍යවන්තයින් නම් මඳක් සිතා පවසන්න.

41

එසේ නොව, නුඹලා අයැදින්නේ ඔහුවමය. නුඹලා ඔහු වෙත අයැද සිටින දෑ ඔහු අභිමත කළේ නම් ඉවත් කරනු ඇත. තවද නුඹලා ද ආදේශ කරන දෑ අමතක කර දමනු ඇත.

42

තවද සැබැවින්ම අපි නුඹට පෙර වූ සමූහයන් වෙත ද දූත පණිවිඩ එව්වෙමු. ඔවුන් යටහත් පහත් විය හැකි වනු පිණිස දුෂ්කරතාවන් හා පීඩාවන්ගෙන් ඔවුන් ව හසු කළෙමු.

43

එබැවින් ඔවුන් වෙත අපගේ දුෂ්කරතාවන් පැමිණි විට ඔවුන් යටහත් පහත් විය යුතු නොවේ ද? නමුත් ඔවුන්ගේ හදවත් දැඩි විය. ඔවුන් කරමින් සිටි දෑ ෂෙයිතාන් ඔවුන්ට අලංකාරවත් කළේය.

44

කවර දෙයක් පිළිබඳ ඔවුනට සිහපත් කරනු ලැබුවේ ද එය ඔවුහු අමතක කළ කල්හි (ප්‍රථමයෙන්) අපි සියලු දෑ හි දොරටු ඔවුන් වෙත විවෘත කළෙමු. අවසානයේ ඔවුනට දෙනු ලැබූ දෑ පිළිබඳ සතුටු වෙමින් සිටිය දී අපි ඔවුන් ව අනපේක්ෂිත ව හසු කළෙමු. එවිට ඔවුහු (සියලු කටයුතු වලදී) අසාර්ථක වූවන් බවට පත් වූහ.

45

පසුව අපරාධ කළ එම ජනතාව සහමුලින්ම කපා හරිනු ලැබීය. තවද සියලු ප්‍රශංසා සියලු ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් සතුය.

46

අල්ලාහ් නුඹලාගේ සවන් හා නුඹලාගේ බැල්ම අත්පත් කර ගෙන නුඹලාගේ හදවත් මත මුද්‍රා තැබුවේ නම් එය නුඹලාට (නැවත) ගෙන එන්නට අල්ලාහ් නොවන වෙනත් දෙවිඳෙකු සිටින්නේ දැ යි නුඹලා දැනුම් දෙන්නැයි (නබිවරය!) නුඹ අසනු. එම සාධක අපි විවිධ අයුරින් විස්තර කරන්නේ දැ යි අවධානයෙන් බලනු. පසුව ද ඔවුන් පිටුපාන්නන් වෙති.

47

නුඹලා වෙත අල්ලාහ්ගේ දඬුවම අනපේක්ෂිත ව හෝ හෙළිපිට ම පැමිණියේ නම් අපරාධකාර ජනයා හැර වෙනත් කවරෙකු විනාශ කරනු ලබන්නේ දැ?’ යි නුඹලා මට දැනුම් දෙන්නැ’යි නුඹ පවසනු.

48

තවද ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් වශයෙන් මිස අපි රසූල්වරුන් ව නොඑව්වෙමු. එබැවින් කවරෙකු විශ්වාස කොට හැඩ ගැසෙන්නේද ඔවුනට කිසිඳු බියක් නොමැත. තවද ඔවුහු දුකට පත්වන්නෝද නොවෙති.

49

තවද අපගේ වදන් බොරු කළවුන් වන ඔවුනට ඔවුන් කරමින් සිටි පාපකම් හේතුවෙන් දඬුවම් අත් වනු ඇත.

50

අල්ලාහ්ගේ සම්පත් මා වෙත තිබෙන බව මම නුඹලාට නොපවසමි. තවද මම අදෘශ්‍යමාන දෑ නොදනිමි. මම මලාඉකාවරයකු ද වෙමි යැයි මම නුඹලාට නොපවසමි.මා වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ හැර වෙනත් කිසිවක් මම පිළි නොපදිමි යැයි (නබිවරය ඔවුනට) නුඹ පවසනු. අන්ධයා හා බැල්මැත්තා එක සමාන වන්නේ ද? එබැවින් නුඹලා වටහා නොගන්නෙහු දැ?යි ද නුඹ පවසනු.

51

තවද තම පරමාධිපති වෙත එක් රැස් කරනු ලැබීම ගැන බියවන්නන් හට මෙමගින් නුඹ අවවාද කරනු. ඔහු හැර ඔවුනට භාරකරුවකු හෝ මැදිහත්වන්නෙකු හෝ නොමැත. (මෙමගින් අවබෝධය ලබා) ඔවුන් බිය හැඟීමෙන් යුක්ත විය හැක.

52

උදේ සවස තම පරමාධිපතිව ඔහුගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඇරයුම් කරන්නන් ව නුඹ පලවා නොහරිනු. ඔවුන්ගේ විනිශ්චයෙන් කිසිවක් නුඹ වෙත නොපැවරෙනු ඇත. එමෙන්ම නුඹගේ විනිශ්චයෙන් කිසිවක් ඔවුන් වෙත ද නොපැවරෙනු ඇත. එබැවින් නුඹ ඔවුන් ව පලවා හරින්නේ නම් එවිට නුඹ අපරාධකරුවන් අතුරින් වන්නෙහිය.

53

තවද අප අතුරින් තමන් වෙත අල්ලාහ් ආශිර්වාද කළ අය මොවුන් දැ යි ඔවුන් පවසනු පිණිස ඔවුන්ගෙන් ඇතැමෙකු ව ඇතැමෙකු විසින් අප පරීක්ෂාවට ලක් කළේ එලෙසය. කෘතවේදීන් පිළිබඳ ව මැනවින් දන්නා අල්ලාහ් නොවේ ද?

54

තවද අපගේ වදන් විශ්වාස කරන අය නුඹ වෙත පැමිණි විට නුඹලාට සලාම් (ශාන්තිය) යැයි නුඹ (ඔවුනට) පවසනු. නුඹලාගේ පරමාධිපති තමන් කෙරෙහි කරුණා ව නියම කර ගත්තේය. නියත වශයෙන්ම නුඹලා අතුරින් කවරෙක් නොදැනුවත්කමින් යම් නපුරක් කොට ඉන් පසුව පසුතැවිලි වී හැඩ ගැසුණේද එවිට සැබැවින්ම ඔහු (අල්ලාහ්) අති ක්ෂමාශීලීය. මහා කරුණා ගුණයෙන් යුක්තය.

55

තවද වැරදිකරුවන්ගේ මඟ නුඹට පැහැදිලි වනු පිණිස එම වදන් අප පැහැදිලි කරනුයේ එලෙසය.

56

අල්ලාහ් හැර නුඹලා අයැදින දෑ මා නැමදීමට සැබැවින්ම මම තහනම් කරනු ලද්දෙමි යැයි (නබිවරය) නුඹ පවසනු. තවද නුඹලාගේ ආශාවන් මම පිළි නොපදිමි. එවිට (එසේ කළේ නම්) මම නොමඟ යමි. තවද මම යහමඟ ලැබූවන් අතුරින් (කෙනෙකු) ද නොවෙමි යැයි නුඹ පවසනු.

57

සැබැවින්ම මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත සිටිමි. නමුත් නුඹලා එය බොරු කළෙහුය. නුඹලා කවර දෙයක් ඉක්මන් කරන්නැ යි ඉල්ලා සිටින්නේ ද සැබැවින්ම එය මා සතු ව නැත. නීතිය අල්ලාහ් හැර වෙනත් කිසිවකු සතු නැත. ඔහු සත්‍යය පවසයි. තවද ඔහු තීන්දු පිරිනමන්නන්ගෙන් වඩා ශ්‍රේෂ්ඨය.

58

“නුඹලා කවර දෙයක් ඉක්මන් කරන්නැ යි ඉල්ලා සිටින්නෙහු ද එය මා සතු ව ඇත්නම් මා අතර හා නුඹලා අතර වූ විෂයය තීන්දු කරනු ලබන්නට තිබුණි. තවද අල්ලාහ් අපරාධකරුවන් පිළිබඳ මැනවින් දන්නාය යැයි’ නුඹ පවසනු.

59

අදෘශ්‍යමාන දෑ හි යතුරු ඔහු සතු ව ඇත. ඔහු හැර වෙනත් කිසිවකු ඒවා නොදනී. තවද ගොඩබිම හා මුහුදේ ඇති දෑ ඔහු දනී. ශාකයක කොළයක් පවා ඔහුගේ දැනුමෙන් තොරව නොවැටෙයි. තවද මහපොළොව අන්ධකාරය තුළ ඇති බීජය, සාරවත් හෝ වියළිව තිබෙන දෑ පැහැදිලි පුස්තකයේ සඳහන් ව මිස නැත.

60

තවද රාත්‍රියෙහි නුඹලා ගේ ප්‍රාණය (නින්දෙන් පසුවෙද්දී තාවකාලිකව) අත්පත් කර ගන්නේ ඔහුය. තවද දහවලෙහි නුඹලා ඉපැයූ දෑ ද ඔහු දනී. පසු ව නියමිත කාලය තීන්දු කරනු ලබනු පිණිස ඔහු එහි නුඹලා ව අවදි කරවයි. පසු ව නුඹලාගේ නැවත යොමු වීමේ ස්ථානය ඔහු සතු ව ඇත. පසු ව නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වයි.

61

තවද තම ගැත්තන්ට ඉහළින් සිට පාලනය කරන්නා ඔහුය. තවද ඔහු නුඹලා වෙත ආරක්ෂකයින් (මලක්වරුන්) එවයි. අවසානයේ නුඹලාගෙන් කිසිවකු වෙත මරණය පැමිණි විට අපගේ දූතවරුන් ඔහු ව අත්පත් කර ගනිති. තවද ඔවුහු (තම වගකීම්) පැහැර නොහරිති.

62

පසු ව ඔවුන්ගේ සැබෑ භාරකරු වන අල්ලාහ් වෙතට නැවත යොමු කරනු ලබති. තීන්දුව ඔහු සතු යැයි දැන ගනු. තවද ඔහු විනිශ්චය කරන්නන්ගෙන් ඉතා වේගවත්ය.

63

ගොඩබිමේ හා මුහුදේ අන්ධකාරයන්ගෙන් (නුඹලා යම් ආපදාවකට හසු වී) නුඹලා බැගෑපත් ව හා රහසිගත ව ඔහු අප ව මෙයින් මුදවා ගත්තේ නම් අපි කෘතවේදීන් අතුරින් වන්නෙමු යැයි පවසා ඔහුගෙන් නුඹලා අයැද සිටින විට නුඹලා ව මුදවා ගනුයේ කවුරුන්දැයි (නබිවරය !) පවසනු.

64

එයින් ද සියලු ආපදාවන්ගෙන් ද නුඹලා ව මුදවා ගනුයේ අල්ලාහ්ය. නමුත් පසු ව නුඹලා ආදේශ තබන්නෙහුය යැයි (නබිවරය !) නුඹ පවසනු.

65

නුඹලාට ඉහළින් හෝ නුඹලාගේ පාද යටින් හෝ දඬුවමක් නුඹලා වෙත එවීමටත් නැතහොත් නුඹලා කණ්ඩායම් බවට පත් කොට නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ දරුණුකම විඳවන්නට සැලැස් වීමටත් බලය ඇත්තා ඔහුය යැයි (නබිවරය !) නුඹ පවසනු. තවද ඔවුන් වටහා ගත හැකි වනු පිණිස එම වදන් අප විස්තර කරනුයේ කෙසේදැ යි නුඹ අවධානයෙන් යුතු ව බලනු.

66

මෙය සත්‍ය ව තිබියදී නුඹේ සමූහයා එය බොරු යැයි පැවසීය. තවද නුඹ ‘(නබිවරයා වන) මම නුඹලාගේ භාර කරු නොවෙමි’ යැයි (ඔවුනට) පවසනු.

67

සෑම පණිවිඩයකටම නියමිත කාලයක් ඇත. තවද (එය) නුඹලා මතු දැන ගන්නෙහුය.

68

අපගේ වදන්හි (වාද විවාද වල) නිරත ව සිටින්නන් නුඹ දුටු විට, ඒ හැර වෙනත් කතාවක ඔවුහු නිරත වන තෙක් ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු. නුඹට අමතක කරනුයේ ෂෙයිතාන්ය. එබැවින් මෙනෙහි කිරීමෙන් පසු අපරාධකාර පිරිස සමඟ නුඹ වාඩි නොවනු.

69

ඔවුන් පිළිබඳ විනිශ්චය කිරීමේදී බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හට කිසිදු කොටසක් නොමැත. නමුත් ඔවුන් බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළ හැකි වනු පිණිස (ඔවුනට) මෙනෙහි කළ යුතු ව ඇත.

70

තම දහම සෙල්ලමට හා විහිළුවට ගත් අය නුඹ අතහැර දමනු. මෙලොව ජීවිතය ඔවුන් රවටා ඇත. යම් ආත්මයක් තමන් ඉපැයූ දෑ හේතුවෙන් (අල්ලාහ්ගේ දඬුවමට) නොපැටලෙනු වස් මෙමගින් නුඹ උපදෙස් දෙනු. අල්ලාහ්ගෙන් තොර ව කිසිදු භාරකරුවකු හෝ කිසිදු මැදිහත්කරුවකු හෝ එයට නොමැත. සියලු වන්දි වලට නුඹ වන්දි ගෙව්වද එය පිළි ගනු නොලැබේ. (හේතුව) තමන් ඉපැයූ දෑ හේතුවෙන් (දඬුවමට) පැටලුණු අය ඔවුහුය. ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් වේදනීය දඬුවමද උතුරණ උණු පානයද ඇත.

71

(නබිවරය!) නුඹ පවසන්න.අල්ලාහ් හැර අපට ප්‍රයෝජනයක් කළ නොහැකි තවද අපට හිංසාවක් කළ නොහැකි දෑ අප අයදින්නෙමු ද? අල්ලාහ් අපට මඟ පෙන්වූ පසු ව අපි අපගේ විලුඹු මත (පෙර සිටි තත්වයට) නැවත හැරී යන්නෙමු ද? (එසේ නම්) කෙනෙකුට ඔහුගේ මිතුරන් යහමඟ වෙතට ඔහු ව ඇරයුම් කර, අප වෙතට පැමිණෙන්නැයි ඇරයුම් කරමින් සිටිය දී ෂෙයිතානුන් ඔහු ව මහපොළොවේ ඔබමොබ සැරිසරන්නන් මෙන් නොමඟ හැරියේ නම් එවැනි අයකු මෙන් වනු ඇත. යැයි (නබිවරය !) නුඹ පවසනු. සැබැවින්ම අල්ලාහ්ගේ යහමඟ වන එයමය නියම යහමඟ වනුයේ. තවද ලෝකයන්හි පරමාධිපතිට අප අවනත වනු පිණිස අණ කරනු ලැබුවෙමු.

72

තවද නුඹලා සලාතය විධිමත් ව ඉටු කරනු. ඔහුට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරනු යැයි ද (අණ කරනු ලැබුවෙමු.) නුඹලා එක්රැස් කරනු ලබනුයේ ඔහු වෙතටමය.

73

යථාර්ථයෙන් යුතු ව අහස් හා මහපොළොව මැව්වේ ඔහුමය. කුන් ( වෙනු) යැයි පවසන දින එය සිදු වන්නේය. ඔහුගේ ප්‍රකාශය සත්‍යයකි. තවද සූර් (නම් හොරණෑව) පිඹිනු ලබන දින සියලු ආධිපත්‍යයන් ඔහු සතු වේ. අභ්‍යන්තර දෑ හා බාහිර දෑ පිළිබඳ මැනවින් දන්නාය. තවද ඔහු සියුම් ඥානය ඇති සර්ව ප්‍රඥාවන්තය.

74

තම පියා වන ආzදර්ට ඔබ දෙවිවරු ලෙස පිළිම ගන්නෙහි ද? සැබැවින්ම ඔබ හා ඔබගේ ජනයා පැහැදිලි මූළාවෙහි සිටිනු මම දකිමි යැයි ඉබ්‍රාහීම් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

75

අහස්හි හා මහපොළොවේ ආධිපත්‍යයන් ඉබ්‍රාහීම්ට අප පෙන්වූයේ එලෙසය. තවද (එය) ඔහු තරයේ විශ්වාස කරන්නන් අතුරින් වනු පිණිසය.

76

රාත්‍රිය ඔහු ව (අන්ධකාරයෙන්) වෙළා ගත් කල්හි තරුවක් දැක මෙය මාගේ පරමාධිපති යැයි පවසා සිටියේය. නමුත් එය සැඟ වී ගිය කල්හි සැඟ වී යන්නන් මම ප්‍රිය නොකරමි යැයි පැවසුවේය.

77

පසු ව සඳු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපති යැයි ඔහු පවසා සිටීය. නමුත් එය සැඟ වී ගිය කල්හි මාගේ පරමාධිපති මට මඟ පෙන්වූයේ නැතහොත් සැබැවින්ම මම මුළා වූ ජනයා අතුරින් වන්නෙමි යැයි පැවසීය.

78

පසු ව හිරු උදා වනු දුටු කල්හි මෙය මාගේ පරමාධිපතිය. මෙය (සියල්ලට වඩා) අති විශාලය. යැයි පවසා සිටීය. නමුත් එයද සැඟ වී ගිය කල්හි මාගේ ජනයිනි, නුඹලා ආදේශ කරන දැයින් සැබැවින්ම මම නිදොස් වෙමි යැයි පැවසීය.

79

අහස් හා මහපොළොව මැවූ ඔහු වෙත මම මාගේ මුහුණ අවංක ලෙසින් හරවමි. තවද මම ආදේශ තබන්නන් අතුරින් නොවෙමි.

80

තවද තම ජනයා තමන් සමඟ වාද කළේය. සැබැවින්ම මට යහ මඟ පෙන්වා තිබිය දී අල්ලාහ් සම්බන්ධයෙන් මා සමඟ නුඹලා වාද කරන්නෙහුද? නුඹලා කවර දෙයකට ආදේශ කරන්නෙහුද ඒ ගැන මම බිය නොවෙමි. නමුත් මාගේ පරමාධිපති යම් කිසිවක් අභිමත කළේ නම් මිස. මාගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් පුළුල් විය. නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද ?

81

කවර දෙයක් සම්බන්ධයෙන් නුඹලා වෙත සාධකයක් පහළ නොකළ තත්වයක නුඹලා අල්ලාහ්ට ආදේශ කිරීමට නොබිය ව සිටිය දී නුඹලා ආදේශ කළ දෑට මා බිය වන්නේ කෙසේද? එබැවින් නුඹලා දැන සිටින්නෙහු නම් මෙම දෙපිරිසෙන් අභයදායිත්වයට වඩා සුදුසු වනුයේ කුම(න පිරිස)ක් ද?

82

විශ්වාස කොට තම විශ්වාසය සමඟ (ආදේශ කිරීමෙන්) කිසිදු අපරාධයක් මුසු නොකළේ ද එවැන්නන්ටමය අභයදායිත්වය ඇත්තේ. ඔවුහු යහමඟ ලද්දවුන්ය.

83

අපගේ සාධකය එයයි. තම ජනයාට එරෙහි ව ඉබ්‍රාහීම්ට අපි එය පිරිනැමුවෙමු. අප අභිමත කරන අයට තරාතිරම් උසස් කරන්නෙමු. සැබැවින්ම නුඹගේ පරමාධිපති සියුම් ඥානය ඇත්තාය. සර්වඥය.

84

තවද අපි ඔහුට (ඉබ්‍රාහීම්ට) පැවැත එන්නන් ලෙස ඉස්හාක් හා යඃකූබ් පිරිනැමුවෙමු. ඔවුන් සෑම කෙනෙකුටම අපි මඟපෙන්වූයෙමු. තවද අපි මීට පෙර නූහ්ට ද ඔහුගේ (ඉබ්‍රාහීම්ගේ) පරපුරෙන් වූ දාවූද්, සුලයිමාන්, අය්යූබ්, යූසුෆ්, මූසා හා හාරූන්ට ද (මඟ පෙන්වූයෙමු). තවද අප දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙසය.

85

තවද සකරිය්යා, යහ්යා, ඊසා හා ඉල්යාස්ට ද (මඟ පෙන්වූයෙමු.) සියල්ලෝම දැහැමියන් අතුරිනි.

86

තවද ඉස්මාඊල්, අල්යසඃ, යූනුස් හා ලූත්ට ද (මඟ පෙන්වූයෙමු.) තවද සියල්ලන් අප ලෝවැසියනට වඩා උසස් කළෙමු.

87

තවද ඔවුන්ගේ පියවරුන් ඔවුන්ගේ පරපුර හා ඔවුන්ගේ සහෝදරයන් අතුරින් ද (අතැමෙකු) විය. අපි ඔවුන්ව තෝරා ගෙන ඍජු මාර්ගය වෙත මඟ පෙන්වූයෙමු.

88

මෙය අල්ලාහ්ගේ මඟ පෙන්වීමය. තම ගැත්තන් අතුරින් තමන් අභිමත කරන අයට මෙමගින් මඟ පෙන්වනු ඇත. නමුත් ඔවුහු ආදේශ කළේ නම් ඔවුන් කරමින් ආ (යහපත්) දෑ ඔවුන්ගෙන් විනාශ වී යන්නට තිබුණි.

89

පුස්තකය, ප්‍රඥාව හා දූත මෙහෙය අපි පිරිනැමූ අය ඔවූහුය. එබැවින් (මක්කා වැසියන් වන) මොවූහු එය ප්‍රතික්ෂේප කරන්නේ නම් එය ප්‍රතික්ෂේප නොකරන පිරිසකට සැබැවින්ම අපි එය පවරන්නෙමු.

90

අල්ලාහ් මඟ පෙන් වූ අය ඔවුහුය. එබැවින් ඔවුන් ලැබූ මඟ පෙන්වීම අනුව නුඹ ද එය පිළිපදිනු. ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එය ලෝවැසියනට උපදෙසක් මිස නැත යැයි (නබිවරය !) නුඹ පවසනු.

91

අල්ලාහ්ට ගරු බුහුමන් කළ යුතු අයුරින් ඔවුහු ඔහුට ගරු බුහුමන් නොකළහ. එබැවින් "අල්ලාහ් මිනිසා වෙත කිසිවක් පහළ නොකළේය" යැයි ඔවුහු පැවසූහ. "ආලෝකයක් හා ජනයාට මඟපෙන්වීමක් ලෙසින් මූසා ගෙන ආ පුස්තකය පහළ කළේ කවුද?" යි අසනු. නුඹලා එය වෙන් වෙන් පොත් බවට පත් කොට ඒවා (සමහරක්) හෙළි කළ අතර බොහෝ දෑ නුඹලා සඟවන්නෙහුය. නුඹලා හා නුඹලාගේ මුතුන්මිත්තන් නොදැන සිටි දෑ නුඹලාට (එමගින්) උගන්වනු ලැබීය. (නබිවරය ! එය පහළ කළේ) අල්ලාහ් යැයි පවසනු. ඔවුන් නිරතව සිටින දෑහි සෙල්ලම් කිරීමට ඔවුන් ව අතහැර දමනු.

92

මෙය අපි පහළ කළ තමන් අතර ඇති දෑ සත්‍ය කරවන භාග්‍යමත් පුස්තකයයි. තවද (එමඟින් මක්කාහ් නම්) මව් නගරයට හා ඒ අවට සිටින්නන්ට නුඹ අවවාද කරනු පිණිසය. තවද පරමාන්ත දිනය විශ්වාස කරන්නන් මෙය විශ්වාස කරති. තවද ඔවුහු තම සලාතයන් සුරක්ෂිත ව ඉටු කරති.

93

අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නන්ට හෝ තමන් වෙත කිසිවක් දැනුම් දී නොතිබූ තත්ත්වයේ, "මටත් දේව පණිවිඩ දෙනු ලැබීය" යැයි පවසන්නන්ට හෝ "අල්ලාහ් පහළ කළ දෑ මෙන් මම ද පහළ කරමි" යැයි පවසන්නන්ට වඩා අපරාධකරු කවරෙකු ද? එම අපරාධකරුවන් මරණ වේදනාවෙහි සිටිනු නුඹ දකින්නේ නම් මලක්වරු තම අත් විහිදුවා "නුඹලාගේ ප්‍රාණ නුඹලාම බැහැර කරනු". අල්ලාහ් කෙරෙහි සත්‍ය නොවන දෑ පවසමින් සිටි හෙයින් ද ඔහුගේ වදන් පිළිබඳ ව අහංකාරකමින් සිටි බැවින් ද අද දින නින්දිත දඬුවම ප්‍රතිවිපාක වශයෙන් දෙනු ලබන්නෙහුය.

94

අපි නුඹලාට පිරිනමා තිබූ දෑ නුඹලාගේ පිටු පිටිපසට අත හැර දමා, මුල් වරට නුඹලා ව අපි මැව්වාක් මෙන් සැබැවින්ම නුඹලා අප වෙතට (කිසිවක් නොමැති ව) තනි ව පැමිණ ඇත. සැබැවින්ම නුඹලා අතර සිටි (අල්ලාහ්ට) සමානයන් යැයි නුඹලා තරයේ විශ්වාස කළ අය නුඹලා වෙනුවෙන් මැදිහත්වන්නන් ලෙස නුඹලා සමඟ සිටිනු අපි නොදකින්නෙමු. නුඹලා අතර වූ සම්බන්ධතා සැබැවින්ම විසන්ධි විය. නුඹලා තරයේ විශ්වාස කරමින් සිටි දෑ නුඹලා ව මුළා කළේය.

95

සැබැවින්ම අල්ලාහ් බීජ හා ඇට පැළෙන්නට සලස්වයි. (එමඟින් පැළෑටි හට ගන්වයි.) තවද ඔහු මළ දැයින් ප්‍රාණික දෑ පිට කරයි. ප්‍රාණික දැයින් මළ දෑ පිට කරයි. එයයි අල්ලාහ් ! එසේ නම් නුඹලා වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?

96

අලුයම් කාලය උදා කරවන්නා ය. තවද රාත්‍රිය සැනසුම ලබන්නක් ලෙස ද හිරු හා සඳු කාලය ගණනය කිරීමක් ලෙස ඇති කළේය. මෙය සර්ව බලධාරී සර්වඥයාණන්ගේ සැලැස්ම වේ.

97

ගොඩබිමෙහි හා මුහුදෙහි අන්ධකාරයන් තුළ නුඹලා මඟ දැනගනු පිණිස නුඹලාට තරු ඇති කළේ ද ඔහුමය. වටහා ගන්නා ජනයාට සංඥාවන් අපි පැහැදිලි කර ඇත්තෙමු.

98

ඔහු නුඹලා ව එකම ආත්මයකින් නිර්මාණය කළේය. පසු ව (මව් කුස) තැන්පත් ස්ථානයක් ලෙසද (පිය කොඳු නාරටිය) රැඳවුම් ස්ථානයක් ලෙස ද පත් කළේ ඔහුය. අවබෝධ කරන ජනයාට සංඥාවන් පැහැදිලි කර ඇත්තෙමු.

99

අහසින් (වැසි) ජලය පහළ කළේ ඔහුය. පසු ව එමගින් සියලු දෑහි පැළෑටි අපි හට ගැන්වූයෙමු. පසු ව එයින් සරුසාර දෑ හට ගැන්වූයෙමු. (කරලෙහි) එකට බැඳුණු ධාන්‍ය ද ඉඳි ගසින් එහි අතුවල එල්ලී පවතින ඉඳි පොකුරුද සම පෙනුමැති (රසයෙන්) සමාන නොවූ මිදි, ඔලිව් හා දෙළුම් උයන් ද එයින් අපි හට ගන්වන්නෙමු. පල ගැන් වී එය ඉදෙන විට එහි පළතුරු දෙස අවධානයෙන් බලනු. සැබැවින්ම විශ්වාස කරන ජනයාට මෙහි සංඥාවන් ඇත.

100

තවද ජින්වරුන් ව අල්ලාහ්ට සමානයන් ලෙස ඔවුහු පත් කරති. ඔවුන් ව මවා ඇත්තේ ද ඔහුය. තවද කිසිදු දැනුමකින් තොරව, ඔහුට පිරිමි දරුවන් හා ගැහැනු දරුවන් ඇති බවට ඔවුහු බොරු ගොතන්නෝය. ඔවුන් වර්ණනා කරන දැයින් (තොරව) ඔහු සුපිවිතුරුය අති උත්තරීතරය.

101

(ඔහු) අහස් හා පොළොව පූර්වාදර්ශයකින් තොර ව මැවූ මැවුම්කරුය. ඔහුට සහකාරියක් නොසිටියදී ඔහුට දරුවකු ඇති වන්නේ කෙසේද? සියලු දෑ මැව්වේ ඔහුය. තවද සියලු දෑ පිළිබඳ ව ඔහු සර්වඥය.

102

ඔහුය අල්ලාහ්. නුඹලාගේ පරමාධිපතිය. ඔහු හැර නැමඳුම් ලබන්නට කිසිවකු නොමැත. සියලු දෑහි මැවුම්කරුය. එබැවින් නුඹලා ඔහුට වන්දනාමානය කරනු. තවද සියලු දෑහි භාරකරු වන්නේද ඔහුය.

103

කිසිදු දෘෂ්ටීන් ඔහුට ළඟා විය නොහැක. නමුත් ඔහු සියලු දෘෂ්ටීන් ග්‍රහණය කර සිටී. තවද ඔහු සියුම් ඥානීය. සර්ව ප්‍රඥාවන්තය.

104

නුඹලාගේ පරමාධිපතිගෙන් පැහැදිලි සාධක නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් කවරෙකු එය (අධීක්ෂණය කොට) බලන්නේද එය ඔහුටම (හොඳක් වන්නේ)ය. නමුත් කවරෙකු (ඒ ගැන) අන්ධයකු මෙන් කටයුතු කරන්නේ ද එය ඔහුටම එරෙහිවය. තවද මම නුඹලාගේ ආරක්ෂකයා නොවෙමි (යැයි නබිවරය! පවසනු.)

105

(නබිවරය! දේව ධර්මය දෙනු ලැබූ අයගෙන්) නුඹ හැදෑරුවෙහි යැයි ඔවුහු පවසනු පිණිස ද එය වටහා ගන්නා ජනයාට අප පැහැදිලි කර දෙනු පිණිස ද මෙම සාධක අපි විවිධ අයුරින් මෙලෙස විස්තර කරන්නෙමු.

106

නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත වහී වශයෙන් දෙනු ලැබූ දෑ නුඹ පිළිපදිනු. ඔහු හැර නැමදුම් ලබන්නට කිසිවකු නොමැත. ආදේශ තබන්නන් පිටු දකිනු.

107

අල්ලාහ් සිතුවේ නම් ඔවුහු ආදේශ නොකරන්නට තිබුණි. ඔවුනට ආරක්ෂකයකු ලෙස අපි නුඹ ව පත් නොකළෙමු. තවද නුඹ ඔවුන් වෙත වූ භාරකරු ද නොවේ.

108

අල්ලාහ් හැර ඔවුහු අයැදින (පිළිම වන්දනාව වැනි) දෑට නුඹලා අපහාස නොකරනු. එවිට කිසිදු දැනුමකින් තොර ව සීමාව ඉක්මවා යමින් ඔවුහු අල්ලාහ්ටද අපහාස කරති. සෑම ප්‍රජාවකටම ඔවුන්ගේ ක්‍රියාවන් අප අලංකාර වත් කළේ එලෙසය. පසු ව ඔවුන් නැවත යොමු විය යුතු ස්ථානය ඇත්තේ ඔවුන්ගේ පරමාධිපති වෙතය. එවිට ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳව ඔහු ඔවුනට ප්‍රකාශ කරනු සිටී.

109

ඔවුහු ඔවුන්ගේ දිවුරීම් ස්ථීර ලෙස අල්ලාහ් මත දිවුරා තමන් වෙත සාධකයක් පැමිණි විට ඒ පිළිබඳ ව තමන් තරයේ විශ්වාස කරන බව පවසා සිටියහ. සැබැවින්ම සියලු සාධකයන් අල්ලාහ් වෙතින් යැයි (නබිවරය !) නුඹ පවසන්න. සැබැවින්ම ඒවා පැමිණි විට ඔවුන් විශ්වාස නොකරනු ඇතැයි නුඹලාට වටහා දුන්නේ කුමක්ද?

110

ඔවුන් එය මුල් වතාවෙහි විශ්වාස නොකර සිටියාක් මෙන් ඔවුන්ගේ හදවත් හා ඔවුන්ගේ දෘෂ්ටීන් අපි පෙරළා දමන්නෙමු. තවද ඔවුන් ඔවුන්ගේ සීමාව ඉක්මවා යෑමෙහි සැරිසරන්නට අපි ඔවුන්ව අතහැර දමන්නෙමු.

111

තවද අප ඔවුන් වෙත මලක්වරුන් පහළ කළ ද, මියගිය වුන් ඔවුන් සමඟ කතා කළ ද, සියලු දෑ ඔවුන් ඉදිරියේ අප එක්රැස් කළ ද අල්ලාහ් අභිමත කිරීමෙන් මිස ඔවුහු විශ්වාස කිරීමට (ඉදිරිපත්) නොවනු ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරය අඥාන ව සිටිති.

112

තවද එලෙසම අපි සෑම නබි වරයකුටම මිනිස් වර්ගයා සහ ජින් වර්ගයා‍ තුල පවතින ෂෙයිතානුන් සතුරන් බවට පත් කළෙමු. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු රවටා ලනු පිණිස ආකර්ෂණීය වදන් කොඳුරා පවසති. නුඹගේ පරමාධිපති සිතුවේ නම් ඔවුහු මෙය නොකරන්නට තිබුණි. එබැවින් ඔවුන්වද ඔවුන් ගොතන (අසත්‍ය) දෑ ද නුඹ අත හැර දමනු.

113

පරමාන්ත දිනය විශ්වාස නොකරන්නන්ගේ හදවත් ඒ (රැවැටෙන ආකාරයේ ආකර්ෂණීය වදන්) වෙත නැඹුරු වීම සඳහා ද එය ඔවුහු පිළි ගනු පිණිස ද ඔවුන් කවර කරුණක නිරත වෙමින් සිටියේ ද එහි නිරත වනු පිණිස ද ( හතුරන් මෙසේ කළේය.)

114

විසදුම් දෙන්නෙකු ලෙස මා සෙවිය යුත්තේ අල්ලාහ්ගෙන් තොර කෙනෙකුවද ? නුඹලා වෙත පැහැදිලි කරනු ලැබූවක් ලෙස මෙම පුස්තකය පහළ කළේ ඔහුය. කවරෙකුට මෙම පුස්තකය අපි පිරිනැමුවෙමුද සැබැවින්ම මෙය සත්‍යයෙන් යුතු ව නුඹගේ පරමාධිපතිගෙන් පහළ කරනු ලැබූවක් බව දැන ගනිති. එබැවින් නුඹ සැක කරන්නන් අතුරින් නොවනු.

115

නුඹගේ පරමාධිපතිගේ වදන සත්‍යතාවෙන් හා සාධාරණත්වයෙන් පූර්ණවත් විය. ඔහු (අල්ලාහ්) ගේ වදන් වෙනස් කරන්නෙකු නොමැත. ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.

116

මහපොළොවේ සිටින බහුතරයක් දෙනාට නුඹ අවනත වන්නේ නම් නුඹ ව අල්ලාහ්ගේ මාර්ගයෙන් ඔවුහු නොමඟ යවනු ඇත. ඔවුහු අනුගමනය කරනුයේ හුදු අනුමානයන් මිස නැත. තවද ඔවුහු උපකල්පනය කරන්නන් මිස නැත.

117

තම දහමින් නොමඟ යනවුන් කවුරුන් දැ යි සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. තවද යහමඟ ලැබූවන් පිළිබඳවද ඔහු මැනවින් දන්නාය.

118

නුඹලා ඔහුගේ වදන් පිළිබඳ විශ්වාසවන්තයින් ලෙස සිටියෙහු නම් (සතෙකු ආහාරය පිණිස කැපීමේ දී) ඒ කෙරෙහි අල්ලාහ්ගේ නාමය මෙනෙහි කරනු ලැබූ දෑ අනුභව කරනු.

119

තවද කවර දෙයක් කෙරෙහි අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු ලැබුවේ ද එය නුඹලා අනුභව නොකර සිටීමට නුඹලාට කුමක් වී ද ? තවද යමක් කෙරෙහි නුඹලා බල කරනු ලැබුවේ ද එය හැර නුඹලා වෙත තහනම් කර ඇති දෑ නුඹලාට සැබැවින්ම පැහැදිලි කර ඇත. තවද බොහෝ දෙනා කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ මනෝ ආශාවන් අනුව නොමඟ යති. සීමාව ඉක්මවා ගියවුන් පිළිබඳ ව මැනවින් දන්නා සැබැවින්ම නුඹගේ පරමාධිපති වන ඔහුය.

120

තවද පාපයේ බාහිර දෑ හා එහි අභ්‍යන්තර දෑ නුඹලා අත හැර දමනු. සැබැවින්ම පාපය උපයන්නන් ඔවුන් සිදු කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුනට මතු ප්‍රතිවිපාක දෙනු ලබනු ඇත.

121

තවද කවර දෙයක් කෙරෙහි අල්ලාහ්ගේ නාමය සිහිපත් කරනු නොලැබුවේ ද එයින් නුඹලා අනුභව නොකරනු. තවද සැබැවින්ම එය පාපයකි. තවද සැබැවින්ම ෂෙයිතානුන් ඔවුන්ගේ හිතමිතුරන් නුඹලා සමඟ වාද කරනු පිණිස (ඔවුන්ගේ කනට) කොඳුරනු ඇත. තවද නුඹලා ඔවුනට අවනත වූයේ නම් සැබැවින්ම නුඹලා ආදේශ තබන්නන් වනු ඇත.

122

යමෙකු (ජීවතුන් අතර සිටියද දේව ප්‍රතික්ෂේපය හේතුවෙන් ) මළමිනියක්ව සිටි පසු ඔහුට අපි ප්‍රාණය (යහමග) ලබා දී ඔහුට ආලෝකය ද ඇති කොට එමගින් ජනයා අතර ඇවිද යන ඔහු (ආදේශ කිරීම හෙවත් ) අන්ධකාරයන්හි සිට එයින් බැහැර ව යා නොහැකි අයකු මෙන් වන්නේද? දේව ප්‍රතික්ෂේපකයින්ට ඔවුන් සිදු කරමින් සිටි දෑ අලංකාරවත් කර පෙන්වනු ලැබුවේ එලෙසය.

123

එලෙස සෑම ගමකම එහි කුමන්ත්‍රණය කරනු පිණිස එහි වැරදි කරන නායකයන් ඇති කළෙමු. ඔවුහු කුමන්ත්‍රණ කරනුයේ ඔවුන්ටම මිස නැත. තවද ඔවුහු (ඒ බව) නොවටහාගනිති.

124

ඔවුනට (මුහම්මද් තුමාණන්ගේ නබිත්වය තහවුරු කරමින්) යම් සාක්ෂියක් පැමිණි විට අල්ලාහ් ගේ දූතවරුන්ට පිරිනමනු ලැබූවාක් මෙන් යමක් අපටද පිරිනමනු ලබන තෙක් අපි විශ්වාස නොකරන්නෙමු යැයි ඔවුහු පැවසුවෝය. තම දූත මෙහෙවර කොතැනක තැබිය යුතු දැයි අල්ලාහ් මැනවින් දන්නාය. වැරදි කළවුන් ව ඔවුන් කුමන්ත්‍රණ කරමින් සිටි දෑ හේතුවෙන් අල්ලාහ් වෙතින් වූ අවමානයක් හා දැඩි දඬුවමක් හසුකර ගනු ඇත.

125

අල්ලාහ් කවරෙකුව මඟ පෙන් වීමට සිතන්නේ ද ඔහුගේ හදවත ඉස්ලාමය වෙතට විවෘත කරනු ඇත. තවද කවරෙකුව නොමඟ හැර දමන්නට ඔහු සිතන්නේද ඔහුගේ හදවත අහසට නගිනවාක් මෙන් දුෂ්කර ඉතා පටු (පීඩනයෙන් යුත් හදවතක්) බවට පත් කරයි. විශ්වාස නොකරන්නන්හට අල්ලාහ් දඬුවම් කරනුයේ මෙලෙසය.

126

මෙය නුඹගේ පරමාධිපතිගේ ඍජු මාර්ගය වේ. උපදෙස් ලබන ජනයාට සැබැවින්ම අපි මෙම සාධක පැහැදිලි කළෙමු.

127

ඔවුනට අල්ලාහ් වෙතින් වූ (ස්වර්ගය හෙවත්) ශාන්තියේ නිවහන ඇත. ඔවුහු කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ භාරකරු ඔහුම විය.

128

ඔවුන් සියල්ල ඔහු එක්රැස් කරන දින අහෝ ජින් සමූහයනි! මිනිස් වර්ගයාගෙන් වැඩි දෙනා (නොමඟ යවා) නුඹලා අධික කර ගත්තෙහුය. මිනිසුන් අතුරින් වූ ඔවුන්ගේ සමීපතයින් "අපගේ පරමාධිපතියාණනි, අපගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගෙන් ඵල ප්‍රයෝජන ලබා ගත්හ". තවද "අප වෙත නුඹ නියම කළ කාල සීමාව ළඟා විය" යැයි පවසති. (එවිට) නුඹලාගේ නවාතැන (නිරා) ගින්නය. අල්ලාහ් අභිමත කළ (ඇතැම්) අය හැර ඔවුහු එහි සදාතනිකයින් වෙති. සැබැවින්ම නුඹගේ පරමාධිපති ප්‍රඥාවන්ත ය. සර්ව ඥානීය යැයි (ඔහු) පවසයි.

129

තවද එ ලෙස අපරාධ කරුවන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකුට ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් අපි හිතමිතුරන් බවට පත් කරමු.

130

අහෝ ! ජින් හා මිනිස් සමූහයනි, මාගේ වදන් නුඹලාට කියා පා නුඹලාගේ මෙදින හමු වීම ගැන නුඹලාට අනතුරු අඟවමින් නුඹලා අතුරින්ම වූ රසූල්වරු (ධර්ම දූතයින්) නුඹලා වෙත නොපැමිණියේද? (එවිට) ඔවුහු එසේය "අපට එරෙහි ව අපිම සාක්ෂි දරන්නෙමු" යැයි පවසති. මෙලොව ජීවිතය ඔවුන් ව රවටා දැමීය. සැබැවින්ම ඔවුන් ප්‍රතික්ෂේපකයින් ලෙස සිටි බව ඔවුන් ඔවුන්ටම එරෙහි ව සාක්ෂි දරනු ඇත.

131

එය (එසේ රසූල්වරුන් පහළ කිරීමට හේතුව) අපරාධයෙන් වෙළුණු ගමක් එහි ජනයා (ඒ ගැන) නොතකන්නන් ලෙස සිටිය දී නුඹගේ පරමාධිපති එය විනාශ කරන්නෙකු නොවනු පිණිස ය.

132

සෑම කෙනෙකුටම ඔවුන් කළ දෑ අනුව (විවිධ) පදවීන් ඇත. ඔවුන් කරන දෑ පිළිබඳ ව නුඹ ගේ පරමාධිපති අනවධානියකු නොවේ.

133

තවද නුඹගේ පරමාධිපති අවශ්‍යතාවන්ගෙන් තොරය. කරුණාවෙන් යුක්තය.ඔහු සිතන්නේ නම් වෙනත් සමූහයක පරම්පරා වෙන් නුඹලා ව බිහි කළාක් මෙන් නුඹලා ව පහකොට නුඹලාගෙන් පසු ඔහු සිතන පරිදි (නුඹලා වෙනුවට වෙනත්) නියෝජිතයින් පත් කරනු ඇත.

134

නියත වශයෙන්ම නුඹලාට පොරොන්දු වූ දෙය (විනිශ්චය දිනය) නියතව පැමිණෙන අතර එය වියර්ත කිරීමට නුඹලාට ශක්තියක් නැත!

135

අහෝ ! මාගේ ජනයිනි, නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට කටයුතු කරනු. සැබැවින්ම මම ද (මාගේ ස්ථානයේ සිට) කටුයුතු කරමි. මෙලොව අවසානය කා හට යහපත් වන්නේ දැ යි නුඹලා මතු දැන ගනු ඇත. නියත වශයෙන්ම අපරාධකරුවෝ ජය නොලබති යැයි (නබිවරය) නුඹ පවසනු.

136

ගොයමින් හා ගොවිපළ සතුන්ගෙන් බිහි කළ දැයින් අල්ලාහ්ට කොටසක් වෙන් කොට ඔවුන්ගේ කල්පිතය අනුව මෙය අල්ලාහ් වෙනුවෙනි, මෙය තමන්ගේ සම දෙවිවරුන් වෙනුවෙනි යැයි පවසති. ඔවුන්ගේ සම දෙවිවවරුන් වෙනුවෙන් වූ දෑ අල්ලාහ් වෙත ළඟා නොවනු ඇත. තවද අල්ලාහ් වෙනුවෙන් වූ දෑ ඔවුන්ගේ සම දෙවිවරුන් වෙත ළඟා වනු ඇත. ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.

137

තවද එලෙසම ආදේශ තබන්නන්ගෙන් බහුතරයක් දෙනාට තම දරුවන් ඝාතනය කිරීම ඔවුන්ගේ හවුල්කාර දෙවිවරු අලංකාර කර පෙන්වීය. ඔවුන් (හවුල්කරුවන්) ඔවුන් ව විනාශ කරනු පිණිස හා ඔවුන්ගේ දහම ඔවුනට විකෘති කර පෙන්වනු පිණිසය. අල්ලාහ් සිතුවේ නම් ඔවුහු එය නොකරන්නට තිබුණි. එබැවින් ඔවුන් ගොතමින් සිටින දෑ සමඟ ඔවුන් ව නුඹ අත හැර දමනු.

138

මෙය තහනම් කරනු ලැබූ ගොවිපළ සතුන් හා කෙත්ය. ඔවුන්ගේ උපකල්පනය පරිදි අපි සිතන අය හැර (අන් කිසිවකු) මෙය අනුභව නොකළ යුතු යැයි ඔවුහු පවසති. තවද ඇතැම් ගොවිපළ සතුන් උන්ගේ පිට (ගමන් බිමන් යාමට) තහනම් කරනු ලැබ ඇතැයි ද ඇතැම් ගොවිපළ සතුන් මත අල්ලාහ්ගේ නාමය තමන් මෙනෙහි නොකරනු ඇතැයි ද ඔහු වෙත ගොතා පවසති. ඔවුන් ගොතමින් සිටි දෑ වෙනුවෙන් ඔවුනට ඔහු (අල්ලාහ්) ප්‍රතිවිපාක දෙනු ඇත.

138

මෙය තහනම් කරනු ලැබූ ගොවිපළ සතුන් හා කෙත්ය. ඔවුන්ගේ උපකල්පනය පරිදි අපි සිතන අය හැර (අන් කිසිවකු) මෙය අනුභව නොකළ යුතු යැයි ඔවුහු පවසති. තවද ඇතැම් ගොවිපළ සතුන් උන්ගේ පිට (ගමන් බිමන් යාමට) තහනම් කරනු ලැබ ඇතැයි ද ඇතැම් ගොවිපළ සතුන් මත අල්ලාහ්ගේ නාමය තමන් මෙනෙහි නොකරනු ඇතැයි ද ඔහු වෙත ගොතා පවසති. ඔවුන් ගොතමින් සිටි දෑ වෙනුවෙන් ඔවුනට ඔහු (අල්ලාහ්) ප්‍රතිවිපාක දෙනු ඇත.

139

මෙම ගොවිපළ සතුන්ගේ කුස තුළ ඇති දෑ පිරිමින්ට පමණක් සතුය. අපගේ සහකාරියන්හට තහනම් කරන ලද්දකි. එය මිය ගිය තත්ත්වයේ තිබේ නම් එහි ඔවුහු හවුල්කරුවන් වෙති යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මෙම ප්‍රකාශයට ඔහු (අල්ලාහ්) ඔවුනට ප්‍රතිවිපාක දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු ප්‍රඥාවන්තය. සර්ව ඥානීය.

139

මෙම ගොවිපළ සතුන්ගේ කුස තුළ ඇති දෑ පිරිමින්ට පමණක් සතුය. අපගේ සහකාරියන්හට තහනම් කරන ලද්දකි. එය මිය ගිය තත්ත්වයේ තිබේ නම් එහි ඔවුහු හවුල්කරුවන් වෙති යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මෙම ප්‍රකාශයට ඔහු (අල්ලාහ්) ඔවුනට ප්‍රතිවිපාක දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු ප්‍රඥාවන්තය. සර්ව ඥානීය.

140

කිසිදු දැනුමකින් තොර ව අඥාන කමින් තම දරුවන් ඝාතනය කළවුන් සැබැවින්ම පාඩු වින්දහ. තවද අල්ලාහ් කෙරෙහි බොරු ගොතමින් අල්ලාහ් ඔවුනට පෝෂණය වශයෙන් පිරිනැමූ දෑ ඔවුහු තහනම් කර ගත්හ. ඔවුහු නොමඟ ගියහ. තවද ඔවුන් යහමඟ ලද්දන් නොවූහ.

140

කිසිදු දැනුමකින් තොර ව අඥාන කමින් තම දරුවන් ඝාතනය කළවුන් සැබැවින්ම පාඩු වින්දහ. තවද අල්ලාහ් කෙරෙහි බොරු ගොතමින් අල්ලාහ් ඔවුනට පෝෂණය වශයෙන් පිරිනැමූ දෑ ඔවුහු තහනම් කර ගත්හ. ඔවුහු නොමඟ ගියහ. තවද ඔවුන් යහමඟ ලද්දන් නොවූහ.

141

විහිදී වැඩෙන්නට සැලැස්වූ උයන් ද (ඉඳි ගස් වැනි) විහිදුවීමකින් තොර ව වැඩෙන උයන් ද ඉඳි ද එහි ආහාරය විවිධ වූ පැළෑටි ද ඔලිව් ද දෙළුම් ද එකිනෙකට සමාන වශයෙන් හා එකිනෙකට සමාන නොවන වශයෙන් බිහි කළේ ඔහුය. නුඹලා එහි පල හට ගැණුනු විට එහි පල අනුභව කරනු. තවද එය නෙළා ගන්නා දින එහි උරුමය දෙනු. තවද නුඹලා නාස්ති නොකරනු. නියත වශයෙන්ම ඔහු නාස්තිකාරයින් ව ප්‍රිය නොකරනු ඇත.

142

ගොවිපළ සතුන් අතුරින් ප්‍රවාහනය කරනු ලබන්නක් වශයෙන් හා ප්‍රවාහනය කළ නොහැකි වශයෙන් (බිහි කළේ ඔහුය). අල්ලාහ් නුඹලාට පෝෂණය වශයෙන් දුන් දැයින් නුඹලා අනුභව කරනු. ෂෙයිතාන්ගේ පියවරවල් අනුගමනය නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරා වෙයි.

143

(ආහාරයට අනුමත සතුන් අතරින්) වර්ග අටක් ඇත. බැටළුවාගෙන් (ගැහැනු පිරිමි යන) දෙදෙනෙක් ද එළුවාගෙන් දෙදෙනෙක් ද වෙති. (මේවායින්) ඔහු තහනම් කර ඇත්තේ පිරිමි සතුන් දෙදෙනා ද? නැතහොත් ගැහැනු සතුන් දෙදෙනා ද? එසේ නැතහොත් ගැහැනු සතුන්ගේ ගැබ් තුළ ඇති දෑ ද? නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම් බුද්ධිමත් ව මට (මේ ගැන) දන්වා සිටින්නැයි නුඹ පවසනු.

144

තවද ඔටුවාගෙන් (ගැහැනු පිරිමි යන) දෙදෙනෙක් ද ගවයාගෙන් දෙදෙනෙක් ද වෙති. (මේවායින්) ඔහු තහනම් කර ඇත්තේ පිරිමි සතුන් දෙදෙනා ද? නැතහොත් ගැහැනු සතුන් දෙදෙනා ද? එසේ නැතහොත් ගැහැනු සතුන්ගේ ගැබ් තුළ ඇති දෑ දැ යි අසනු. එසේ නැතහොත් මේ ගැන අල්ලාහ් නුඹලාට උපදෙස් දුන් අවස්ථාවේ නුඹලා සාක්ෂි කරුවන් ලෙස සිටියෙහු ද? ජනයා නොමඟ යවනු පිණිස දැනුමෙන් තොර ව අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා දරුණු අපරාධකරු කවරෙකු ද? සැබැවින්ම අල්ලාහ් අපරාධකාරී පිරිසට යහමඟ නොපෙන්වයි.

145

(නබිවරය!) පවසන්න, මිය ගිය දෑ, වහනය වන රුධිරය, ශූකර මාංශ - ඇත්තෙන්ම එය අපිරිසිදුය.- අල්ලාහ් නොවන දෑ වෙනුවෙන් කවර දෙයක් කපන ලද්දේ ද එවන් පාපී වශයෙන් පවතින දෑ හැර අනුභව කරන්නෙකුට එය අනුභව කිරීමට කිසිවක් තහනම් බව මා වෙත දන්වා ඇති දේව වදන්හි මා දුටුවේ නැත. නමුත් කෙනෙකු සීමාව ඉක්මවා යන්නෙකු හෝ පාපයක් කරන්නෙකු වශයෙන් තොරව (එය අනුභව කිරීම සඳහා ) බලකිරීමකට ලක්වන්නේද ( එවිට අනුමැතිය ඇත.) සැබැවින්ම නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.

146

නියපොතු ඇති (සතුන්) සියල්ලම අපි යුදෙව්වන්ට තහනම් කළෙමු. තවද ගවයින් හා එළුවන්ගෙන් උන්ගේ පිටවල් හා බොකු හා ඉළඇට සමඟ මුසු වූ දෑ හැර (අනෙකුත්) මේද ඔවුන් වෙත තහනම් කළෙමු. ඔවුන්ගේ අපරාධ හේතුවෙන් මෙලෙස අපි ඔවුනට ප්‍රතිවිපාක දුනිමු. තවද සැබැවින්ම අපි සත්‍යවාදීහු වන්නෙමු.

147

නමුත් ඔවුහු නුඹ ව බොරු කළේ නම් එවිට නුඹලාගේ පරමාධිපති කරුණාවෙන් හා විශාලත්වයෙන් යුක්තය. වැරදිකාර පිරිසගෙන් ඔහුගේ දඬුවම ප්‍රතික්ෂේප කරනු නොලැබේ යැයි නුඹ පවසනු.

148

"අල්ලාහ් අභිමත කර ඇත්නම් අපිද, අපගේ මුතුන්මිත්තන් ද ආදේශ නොකරන්නට තිබුණි. තවද කිසිවක් අප වෙත තහනම් නොකරන්නට තිබුණි" යැයි ආදේශ කළවුන් පවසනු ඇත. මෙලෙස ඔවුනට පෙර සිටියවුන් ද අපගේ දඬුවම භුක්ති විඳින තෙක් බොරු කරමින් සිටියහ.එය අපහට දන්වා සිටින ආකාරයෙන් නුඹලා වෙත යම් දැනුමක් තිබේදැයි විමසන්න. නුඹලා අනුගමනය කරනුයේ අනුමානය මිස නැත. තවද නුඹලා උපකල්පනය කරන්නන් මිස නැත යනුවෙන් පවසන්න.

149

පිරිපුන් සාධකය අල්ලාහ් සතුය එබැවින් ඔහු අභිමත කළේ නම් නුඹලා සියල්ලන්ට යහ මඟ පෙන්වා දෙන්නට තිබුණි යැයි (නබිවරය) නුඹ පවසනු.

150

මෙය තහනම් කළේ සැබැවින්ම අල්ලාහ් යැයි සාක්ෂි දරන නුඹලාගේ සාක්ෂිකරුවන් ගෙන එනු යැයි (නබිවරය) නුඹ පවසනු. එවිට ඔවුහු (අසත්‍ය ලෙස) සාක්ෂි දැරුවේ නම් එවිට නුඹ ඔවුන් සමඟ වී සාක්ෂි නොදරනු. අපගේ වදන් බොරු කළවුන්ගේ හා මරණින් මතු ජීවිතය විශ්වාස නොකරන්නන්ගේ ආශාවන් අනුගමනය නොකරනු. තවද ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට සමානකම් ඇති කරති.

151

"පැමිණෙන්න. නුඹලාගේ පරමාධිපති නුඹලාට තහනම් කළ දෑ මම නුඹලා වෙත පවසමි" යැයි (නබිවරය) නුඹ පවසනු.(ඒවා නම්) නුඹලා ඔහුට කිසිවක් ආදේශ නොකරන ලෙසත්, දෙමාපියන්ට උපකාරශීලී ව කටයුතු කරන ලෙසත්, දිළිඳුකම හේතුවෙන් නුඹලාගේ දරුවන් ඝාතනය නොකරන ලෙසත්, නුඹලාට හා ඔවුනට පෝෂණය දෙනුයේ අපමය.- එමෙන්ම නුඹලා අශික්ෂිත දැයින් මතුපිටින් පෙනෙන දෑ හා රහසිගත දෑට සමීප නොවන ලෙසත්ය. අල්ලාහ් නුඹලාට තහනම් කළ ආත්මයක් නුඹලා යුක්තියෙන් තොර ව මිස ඝාතනය නොකරනු. මෙසේ එය නුඹලාට ඔහු උප‍දෙස් දෙනුයේ නුඹලා වටහා ගත හැකි වනු පිණිසය.

152

අනාථයාගේ ධන වස්තූන් වෙත, ඔහු වැඩි විය පත් වන තුරු යුක්ති සහගත අයුරින් මිස සමීප නොවනු. තවද කිරුම් මිණුම් යුක්ති සහගත ලෙසින් පූර්ණ ව ඉටු කරනු. කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස අපි බර නොපටවන්නෙමු. සමීප ඥාතියකු වුව ද නුඹලා පවසන විට යුක්තිගරුක ව පවසනු. තවද අල්ලාහ්ගේ ගිවිසුම ඉටු කරනු. මෙමගින් නුඹලාට ඔහු (අල්ලාහ්) උපදෙස් දෙනුයේ නුඹලා මෙනෙහි කිරීමට හැකි වනු පිණිසය.

153

තවද නියත වශයෙන්ම මෙය මාගේ ඍජු මාර්ගයයි. එබැවින් නුඹලා එය අනුගමනය කරනු. (වෙනත්) මාර්ග අනුගමනය නොකරනු. එවිට නුඹලා ව ඔහුගේ මාර්ගයෙන් එය වෙන් කරනු ඇත. මෙමගින් ඔහු (අල්ලාහ්) නුඹලාට උපදෙස් දෙනුයේ නුඹලා බිය බැතිමත් විය හැකි වනු පිණිසය.

154

පසු ව වඩාත් අලංකාර අයුරින් සෑම දෙයක්ම විස්තර කරන්නක් ලෙස ද මඟ පෙන්වීමක් ලෙස ද ආශිර්වාදයක් ලෙස ද එම පුස්තකය අපි මූසාට පිරිනැමුවෙමු. එය ඔවුන්ගේ පරමාධිපතිගේ හමු ව ඔවුන් විශ්වාස කිරීමට හැකි වනු පිණිසය.

155

තවද අපි පහළ කළ මෙම පුස්තකය භාග්‍ය සම්පන්නය. එබැවින් නුඹලා එය පිළිපදිනු. තවද නුඹලා කරුණා ව ලැබීමට හැකි වනු පිණිස නුඹලා බිය බැතිමත් වනු.

156

අපට පෙර පුස්තකය පහළ කරනු ලැබුවේ (යුදෙව් හා කිතුනු යන) දෙපිරිස වෙතමය. තවද අපි ඔවුන්ගේ ඉගැන්වීම් ගැන අපි අනවධානීන් ලෙස සිටියෙමු යැයි නුඹලා ( ප්‍රතික්ෂේප කළ අරාබි ජනයා) නොපවසනු පිණිසය.

157

නැතහොත් සැබැවින්ම අප වෙත පුස්තකය පහළ කරනු ලැබුවේ නම් ඔවුනට වඩා අපි යහ මඟ ලැබූවන් වන්නෙමු යැයි නුඹලා නොපවසනු පිණිසය. නමුත් නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා වෙත පැහැදිලි සාධකය, මඟ පෙන්වීම හා ආශිර්වාදය පැමිණ ඇත. අල්ලාහ්ගේ වදන් බොරු කොට එය පිටු පෑ අයට වඩා මහා අපරාධකරුවා කවරෙකු ද? අපගේ වදන් පිටුපාන්නන්ට ඔවුන් පිටුපාමින් සිටි හේතුවෙන් නපුරු දඬුවමක් මතු අපි ප්‍රතිවිපාක වශයෙන් පිරිනමන්නෙමු.

158

මලක්වරුන් ඔවුන් වෙත පැමිණීම හෝ නුඹගේ පරමාධිපති ඔවුන් වෙත පැමිණීම හෝ නුඹගේ පරමාධිපතිගේ සාධක සමහරක් පැමිණීම හෝ ඔවුන් බලාපොරොත්තු වන්නේ ද? නුඹගේ පරමාධිපතිගේ සාධක සමහරක් පැමිණෙන දින කිසිදු ආත්මයකට එහි විශ්වාසය ප්‍රයෝජනවත් නොවනු ඇත. මීට පෙර එය විශ්වාස නොකළේය. එමෙන්ම එම විශ්වාසය තුළ කිසිදු යහපතක් උපයා ගත්තේ ද නැත. නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම අප ද බලාපොරොත්තුවෙන් සිටින්නන් වෙමු යැයි (නබිවරය) නුඹ පවසනු.

159

සැබැවින්ම තම දහම බෙදා වෙන් කොට කණ්ඩායම් වශයෙන් පත් වූවන් වනාහි ඔවුන් අතුරින් නුඹ කිසිදු විෂයයක නොවන්නෙහිය. සැබැවින්ම ඔවුන්ගේ විෂය සියල්ල අල්ලාහ් වෙතය. පසු ව ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු ඔවුනට දන්වයි.

160

කවරෙකු යහපතක් රැගෙන එන්නේ ද එවිට ඔහුට ඒ හා සමාන (ප්‍රතිඵල) දහයක් හිමිය. තවද කවරෙකු නපුරක් රැගෙන එන්නේ ද එවිට ඒ හා සමාන (ප්‍රතිවිපාක)යක් මිස වෙනෙකක් නොමැත. ඔවුහු අසාධාරණකම් කරනු නොලබති.

161

සැබැවින්ම මාගේ පරමාධිපති මා නිවැරදි මාර්ගය වෙත යොමු කළේය. එය වඩාත් ස්ථාවර, අවංක ලෙස ඉබ්රාහීම් විසින් පිළිපැදි මාර්ගය ද වේ. සැබැවින්ම ඔහු ආදේශ කරන්නන් අතුරින් නොවීය.

162

සැබැවින්ම මාගේ සලාතය මාගේ නැමදුම මාගේ ජීවය මාගේ මරණය ලෝකයන්හි පරමාධිපති වන අල්ලාහ් වෙනුවෙනි.

163

ඔහුට සමාන කිසිවකු නොමැත. තවද මේ ගැන මම නියෝග කරනු ලද්දෙමි. තවද මම මුස්ලිම්වරුන්ගෙන් පළමු වැන්නා වෙමි.

164

සියලු දෑ හි පරමාධිපති ලෙස අල්ලාහ් සිටිය දී ඔහු හැර වෙනත් අයකු පරමාධිපතියෙක් ලෙස මම සොයන්නෙම් ද? සෑම ආත්මයක්ම එයට එරෙහි ව මිස වෙනෙකක් උපයන්නේ නැත. තවද උසුලන්නෙකු වෙනත් කෙනෙකුගේ බර ද උසුලන්නේ නැත. පසු ව නුඹලා නැවත යොමු වන ස්ථානය නුඹලාගේ පරමාධිපති වෙතය. අනතුරු ව නුඹලා කවර විෂයක් මත භේද ඇති කර ගනිමින් සිටියෙහු ද ඒ පිළිබඳ නුඹලාට ඔහු දන්වා සිටියි.

165

මහපොළොවේ නියෝජිතයින් බවට නුඹලා ව පත් කළේ ඔහුමය. තවද ඔහු නුඹලාට දුන් දෑ හි නුඹලා ව පරීක්ෂාවට ලක් කරනු පිණිස නුඹලාගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා තරාතිරම් වලින් උසස් කළේය.(නබිවරය) නිසැකවම ඔබේ පරමාධිපතියාණන් දඬුවම් දීමේදී ඉතා තීව‍්‍රය. තවද සැබැවින්ම ඔහු අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.