සියලුම ඉස්ලාම් පුස්තකාලය

52 - The Mount - Aţ-Ţūr

:1

තූර් කන්ද මත දිවුරමින්,

:2

ලියන ලද ග්‍රන්ථය මත දිවුරමින්,

:3

දිගු හරින ලද ලේඛණයෙහි.

:4

බයිතුල් මඃමූර් (හෙවත් සත් අහසට ඉහළින් ඇති මළක්වරුන්ගේ නැමැදුම් පළ) මත දිවුරමින්,

:5

ඉහළට ඔසවන ලද වියන මත දිවුරමින්

:6

ගිනි මොළවනු ලබන (රැලිවලින් යුත්) මුහුද මත දිවුරමින්,

:7

නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ බරපතල දඬුවම සිදුවන්නක්මය.

:8

එය වළක්වන කිසිවෙකු නැත.

:9

එදින අහස තදබල චලනයකින් චලනය වන දිනයයි.

:10

තවද කඳු භයානක සලිතයකින් සලිත වෙයි.

:11

එහෙයින් බොරු කළවුනට එදින විනාශයයි.

:12

ඔවුහු වනාහි (පුහු කටයුතු වල) නිරත ව කෙළිලොල් කරමින් සිටින්නෝ වෙති.

:13

එදින නිරයේ ගින්න වෙත දක්කාගෙන යමින් වැරෙන් තල්ලු කරනු ලැබේ.

:14

“මෙය නුඹලා කවර ගින්නක් බොරු කරමින් සිටියෙහු ද එම ගින්නයි.”

:15

මෙය හූනියමක් ද? එසේ නැතහොත් නුඹලා නොදකින්නෙහු ද?

:16

නුඹලා එහි පිවිස දැවෙනු. එවිට නුඹලා ඉවසා විඳ දරා ගත්ත ද නොඉවසුව ද නුඹලාට එක සමානය. නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඵල පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑ සඳහාය.

:17

නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන්හි හා සැපතෙහි සිටින්නෝය.

:18

ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ ව සතුටු වන්නන් ලෙස සිටින්නෝය. තවද ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේය.

:19

නුඹලා (මෙලොව) සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සතුටින් අනුභව කරනු. තවද පානය කරනු.(යැයි පවසනු ලැබේ)

:20

පෙළට තබන ලද ඇඳන් මත හාන්සිවෙමින් (සිටිති). තවද අපි ඔවුනට හූරුන් ඊන් (හෙවත් දැකුම් කලු යුවතියන්) සරණපාවා දෙන්නෙමු.

:21

තවද කව්රුන් විශ්වාස කළෝද, තවද ඔවුන්ගේ පරපුර විශ්වාසයෙන් යුතු ව ඔවුන්ව අනුගමනය කරන්නේද, ඔවුන්ගේ පරපුර අපි ඔවුන් සමග එක් කරන්නෙමු. තවද ඔවුන්ගේ ක්‍රියාවෙන් අපි ඔවුනට කිසිවක් අඩු නොකරන්නෙමු. සෑම පුද්ගලයකුම ඔහු උපයා ගත් දෑට ඇපයක් ලෙස සිටින්නේය.

:22

ඔවුන් ප්‍රිය කරන දැයින් පලතුරු හා මාංශ අපි ඔවුනට සපයන්නෙමු.

:23

ඔවුහු එහි (පැන්) කුසලාන හුවමාරු කර ගනිති. කිසිදු නිෂ්ඵල දැයක් හෝ පාපයට පොලඹවීමක් හෝ එහි නැත.

:24

තවද ඔවුන් වෙනුවෙන් (සේවයේ නිරත) සිටින ළමුන් ඔවුන් වටා යති. නියත වශයෙන්ම ඔවුහු සුරක්ෂා කරන ලද මුතු මෙන් වෙති.

:25

ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු වෙතට මුහුණලමින් එකිනෙකා විමසා ගනිති.

:26

“මීට පෙර නියත වශයෙන්ම අපි අපගේ පවුල සම්බන්ධයෙන් බියට පත්වන්නන් ලෙස සිටියෙමු” යැයි ඔවුහු පවසති.

:27

“එවිට අල්ලාහ් අප වෙත උපකාර කළේය. තවද පිලිස්සෙන ගින්නේ වේදනාවෙන් ඔහු අප මුදවා ගත්තේය.”

:28

“නියත වශයෙන්ම අපි පෙර සිටම ඔහුට අයැදිමින් සිටියෙමු. නියත වශයෙන්ම ඔහු උපාකාරශීලී මහා කරුණාවන්තය.”

:29

එහෙයින් නුඹ උපදෙස් දෙනු. නුඹේ පරමාධිපතිගේ ආශිර්වාදයෙන් නුඹ පේන කියන්නෙකු හෝ උම්මත්තකයකු හෝ නොවේ.

:30

“එසේ නැතහොත් ඔහු කවියෙකි. කාලයාගේ ඇවෑම (ඔහු විනාශ කරනු ඇතැයි) අපි ඔහු ගැන බලාපොරොත්තු වන්නෙමු” යැයි ඔවුහු පවසන්නෝ ද?

:31

“නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට නියත වශයෙන්ම මම ද බලාපෙරොත්තු වන්නන් අතුරින් වෙමි” යැයි (නබිවරය) නුඹ පවසනු.

:32

එසේ නැතහොත් ඔවුන්ගේ සිතුවිලි ඔවුනට මේ ගැන නියෝග කරන්නේ ද? එසේ නැතහොත් ඔවුහු සීමාව ඉක්මවා ගිය පිරිසක් ද?

:33

එසේ නැතහොත් “මෙය ඔහු ගෙතුවේයැ”යි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔවුහු විශ්වාස නොකරති.

:34

ඔවුන් සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මේ හා සමාන ප්‍රකාශයක් ඔවුහු ගෙන ආ යුතුය.

:35

එසේ නැතහොත් කිසිවක් නොමැති ව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතහොත් මවන්නෝ ඔවුහු ද?

:36

එසේ නැතහොත් ඔවුහු අහස් හා මහපොළොව මැව්වෝද? එසේ නොව ඔවුහු විශ්වාස නොකරති.

:37

එසේ නැතහොත් ඔවුන් අබියස නුඹගේ පරමාධිපතිගේ නිදානයන් තිබේ ද? එසේ නැතහොත් (ඒ මත) ආධිපත්‍යය දරන්නෝ ඔවුහු ද?

:38

නැත්නම් ඔවුන්ට ඉණිමගක් තිබී එහි ( අහසේ දේව පණිවිඩවලට) ඇහුම්කන් දෙත්ද? එසේ නම් ඔවුන්ගෙන් සවන්දෙන්නා පැහැදිලි සාධකයක් ගෙනෙත්වා !

:39

එසේ නැතහොත් (අල්ලාහ් වන) ඔහුට දූවරුන් වී නුඹලාට (පමණක්) පුතුන් වීද?

:40

එසේ නැතහොත් නුඹ ඔවුන්ගෙන් යම්කිසි කුලියක් ඉල්ලන්නෙහි ද? ඒ හේතුවෙන් ඔවුහු ණය බර උසුලන්නෝ ද?

:41

එසේ නැතහොත් ඔවුන් අබියස අදෘශ්‍යමාන දෑ (පිළිබඳ ඥානය) තිබී ඔවුහු සටහන් කරන්නෝ ද?

:42

එසේ නැතහොත් ඔවුහු කුමන්ත්‍රණයක් (නුඹට එරෙහිව කිරීමට) අදහස් කරන්නෝ ද? ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහුමය කුමන්ත්‍රණයේ හසු වී සිටින්නෝ.

:43

එසේ නැතහොත් අල්ලාහ්ගෙන් තොර ව (වෙනත්) දෙවිඳෙකු ඔවුනට සිටිත් ද? ඔවුන් ආදේශ තබන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.

:44

තවද අහසින් කැබැල්ලක් වැටෙනු ඔවුහු දුටුවා වුවද (ඒවා) ගොඩගැසුනු වලාකුළු සමූහයක් යැයි ඔවුහු පවසති.

:45

එහෙයින් එහි ඔවුන් විනාශ කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමු වන තෙක් නුඹ ඔවුන් අතහැර දමනු.

:46

එදින ඔවුන්ගේ කුමන්ත්‍රණය ඔවුනට කිසිවකින් ප්‍රයෝජනවත් නොවෙයි. තවද ඔවුහු උදව් කරනු නොලබති.

:47

තවද නියත වශයෙන්ම අපරාධ කළවුනට ඒ (ලොවේ දඬුවම) හැර තවත් දඬුවමක් ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.

:48

නුඹගේ පරමාධිපතිගේ නියෝගය උදෙසා ඉවසා සිටිනු. මන්ද නියත වශයෙන්ම නුඹ සිටිනුයේ අපගේ ඇස් ඉදිරිපිටය. තවද නුඹ අවදි වන අවස්ථාවේ නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් නුඹ සුවිශුද්ධ කරනු.

:49

තවද රාත්‍රියෙහි ද තරු බැස යන අවස්ථාවෙහි ද නුඹ ඔහු සුවිශුද්ධ කරනු.