සියලුම ඉස්ලාම් පුස්තකාලය

50 - The Letter "Qaf" - Qāf

:1

කාෆ්, කීර්තිමත් අල් කුර්ආනය මත දිවුරමින්.

:2

නමුත් අවවාද කරන්නෙකු ඔවුන් අතුරින්ම ඔවුන් වෙත පැමිණීම ගැන ඔවුහු පුදුමයට පත් වූහ. එවිට “මෙය පුදුම සහගත කරුණකි”යැයි දේව ප්‍රතික්ෂේපකයෝ පැවසූහ.

:3

“අප මිය ගොස් පස් බවට පත් වූ විට (යළි ජීවය දෙනු ලබන්නේ) ද? එය අන්ත හැරී ඒමකි.

:4

මහපොළොව ඔවුන්ගෙන් අඩු කර දමන දෑ ගැන සැබැවින්ම අපි දනිමු. තවද අප අබියස ආරක්ෂිත පුස්තකයක් ඇත.

:5

නමුත් ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි ඔවුහු එය බොරු කළෝය. එවිට ඔවුහු අවුල් සහගත තත්ත්වයක වූහ.

:6

ඔවුනට ඉහළින් ඇති අහස දෙස අපි එය ඉදි කර ඇත්තේ කෙසේ දැයි ද තවද අපි එය අලංකාර කර ඇත්තේ කෙසේ දැයි ද ඔවුහු නොබැලුවෝ ද? තවද පලුදු කිසිවක් එයට නැත.

:7

තවද මහපොළොව අපි එය දිගු හැර එහි කදු ස්ථීරව හෙළුවෙමු. තවද අපි ඒ තුළ මනහර සෑම වර්ගයක්ම යුගල වශයෙන් හට ගැන්වූයෙමු.

:8

(එසේ කළේ තම පරමාධිපති වෙතට) යොමු වන සෑම ගැත්තෙකුටම පෙන්වා දීමක් හා මෙනෙහි කිරීමක් වශයෙනි.

:9

තවද අපි අහසින් ආශීර්වාද ලත් ජලය පහළ කළෙමු. එමගින් අපි වතු යායන් හා අස්වැනු නෙළනු ලබන බීජ ද හට ගැන්වූයෙමු.

:10

තවද එහි එකිනෙකට ඇමුණුනු වලු සහිත උසින් පවතින ඉඳි ගස් ද (අපි හට ගැන්වූයෙමු.)

:11

(එය) ගැත්තන්හට පෝෂණයක් වශයෙනි. තවද අපි එමගින් මියගිය භූමියක් ජීවමාන කළෙමු. (මිනි වළෙන්) බැහැර වීම ද එලෙසය.

:12

ඔවුනට පෙර සිටි නූහ්ගේ ජනයා ද රස් වාසීහු ද සමූද් ජනයා ද

:13

ආද් ජනයා ද ෆිර්අවුන් ද ලූත්ගේ සහෝදරයෝ ද,

:14

අයිකා වාසීහු ද තුබ්බඃ ජනයා ද බොරු කළෝය. මේ සියල්ලෝම දහම් දූතයින් බොරු කළෝය. එහෙයින් මාගේ අවවාදය ඉෂ්ට විය.

:15

මුල් මැවීමෙන් අපි ආයාසයට පත්වූයෙමු ද? නැත, (මිය ගිය පසු) නව මැවීම ගැන ඔවුහු සැකයෙහි වෙති.

:16

සැබැවින්ම අපි මිනිසා මැව්වෙමු. තවද ඔහුගේ සිත කවර දෙයක් කොඳුරන්නේ ද එය අපි දන්නෙමු. තවද ගෙල නහරට වඩා අප ඔහු වෙත සමීපය.

:17

එවිට දකුණු පසින් හා වම් පසින් වාඩි වී සිටින වාර්තාකරුවන් දෙදෙනා සටහන් කර ගනිති.

:18

ඔහු අසලින් සිට (සියල්ල) නිරීක්ෂා කරන අයගෙන් තොර ව කිසිදු වදනක් ඔහු උච්චාරණය නොකරයි.

:19

මරණයේ වේදනාව සැබෑ ලෙසින් පැමිණ ඇත. “නුඹ ඉන් මඟ හරිමින් සිටි දෑ එයයි.

:20

තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. අවවාදයේ දිනය එයයි.

:21

තවද සෑම ආත්මයක්ම එය මෙහෙයවන්නෙකු හා සාක්ෂිකරුවෙකු සමග පැමිණ ඇත.

:22

“සැබැවින්ම නුඹ මේ ගැන නොසැලකිලිමත් කමෙහි සිටියෙහිය. (දැන්) අපි නුඹේ තිරය නුඹෙන් ඉවත් කළෙමු. එහෙයින් අද දින නුඹේ බැල්ම (සැලකිලිමත් කමින්) තියුණුය.”

:23

“මෙය මා සතු ව සටහන් කරනු ලැබූවක්” යැයි ඔහුට සමීපයෙන් සිටින්නා පවසනු ඇත.

:24

“හිතුවක්කාර ලෙස ප්‍රතික්ෂේප කරන සියල්ලන්ව නුඹලා දෙදෙනා නිරයේ දමනු,

:25

(ඔවුන්) යහපත දැඩි ලෙස වළක්වාලන, සීමාව ඉක්මවා ගිය, සැකයෙන් පසුවන (අය වූහ).

:26

අල්ලාහ් සමග වෙනත් දෙවිඳෙකු පත් කර ගත් සෑම කෙනෙකුවම දැඩි දඬුවමට (නිරය තුළට) නුඹලා දෙදෙනා හෙළනු.

:27

“අපගේ පරමාධිපතියාණෙනි, මා ඔහුව නොමග යැව්වේ නැත. නමුත් ඔහු අන්ත මුළාවෙහි විය” යැයි ඔහුට සමීපත මිතුරා (ෂෙයිතාන්) පවසනු ඇත.

:28

“මා ඉදිරියේ නුඹලා තර්ක නොකරනු. සැබැවින්ම මෙම අවවාදය නුඹලා වෙත මම ඉදිරිපත් කර ඇත්තෙමි.

:29

මා ඉදිරියේ එම ප්‍රකාශය වෙනස් කරනු ලබන්නක් නොවෙයි. තවද මම ගැත්තන්හට අපරාධ කරන්නෙකු නොවෙමි.”

:30

එදින “නුඹ පිරුණෙහිදැ?”යි අපි නිරය අමතා පවසමු. “(මීට අමතර ව) තවත් යමක් වැඩියෙන් තිබේ දැ”යි එය විමසයි.

:31

තවද දුරස්ථභාවයකින් තොර ව බිය බැතිමතුන් හට (ස්වර්ග) උයන සමීප කරවනු ලැබේ.

:32

ප්‍රවේශම් වූ, නැඹුරු වූ සෑම කෙනෙකු සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලැබූ දෑ මෙයයි.

:33

කව්රුන් අදෘශ්‍යමාන තත්වයේදී මහා කරුණාන්විතයාණන්ට බිය වී (ඔහු වෙත) හැරෙන හදවතකින් පැමිණෙන්නේද ( ඔවුන් වෙත ස්වර්ගය ලඟා කර, ඔවුන් අමතා)

:34

නුඹලා එහි සාමයෙන් ඇතුළු වනු. එය සදාකාලික දිනයයි. (යනුවෙන් පවසනු ලැබේ)

:35

ඔවුනට එහි ඔවුන් කැමති දෑ ඇත. තවද (ඊට) අමතර දෑ ද අප අබියස ඇත.

:36

මොවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමු ද? මොවුනට වඩා ඔවුන් බලයෙන් වඩාත් ශක්තිමත් වූහ. එවිට ඔවුහු (ඉන් පළා යන්නට) දේශයන්හි සැරිසරන්නට වූහ. (ඔවුනට) කිසිදු පිළිසරණක් වී ද?

:37

කවරෙකුට හදවතක් වී ද එසේ නැතහොත් කවරෙකු සාවධානයෙන් සවන් යොමු කළේ ද ඔහුට නියත වශයෙන්ම එහි මෙනෙහි කිරීමක් (උපදෙසක්) ඇත.

:38

තවද සැබැවින්ම අපි අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයක් තුළ මැව්වෙමු. තවද කිසිදු වෙහෙසක් අපට ඇති නොවීය.

:39

එහෙයින් ඔවුන් (යුදෙව්වන් හා වෙනත් අයවලුන්) පවසන දෑ මත (මුහම්මද්) නුඹ ඉවසීමෙන් සිටිනු. හිරු උදාවීමට පෙර ද එය අවරට යෑමට පෙර ද නුඹ නුඹේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් සුවිශුද්ධ කරනු.

:40

තවද රාත්‍රියේ ද සුජූද් කිරීමෙන් පසු ව ද නුඹ ඔහු සුවිශුද්ධ කරනු.

:41

තවද සමීප ස්ථානයක සිට අමතන්නා අමතන දිනයට නුඹ සවන් දෙනු.

:42

සැබෑ ලෙසින්ම මහා හඬට ඔවුන් සවන් දෙන දිනයයි. එය බැහැර වීමේ දිනයයි.

:43

නියත වශයෙන්ම අපි ජීවය දෙන්නෙමු. තවද අපි මරණයට පත් කරන්නෙමු. තවද අප වෙතය නැවත යොමු වීමේ ස්ථානය ඇත්තේ.

:44

මහපොළොව ඔවුන්ගෙන් පැළී කඩිනමින් වෙන් ව යන දිනයයි. එක්රැස් කිරීම වනුයේ එයයි. එය අප වෙත පහසුය.

:45

ඔවුන් පවසන දෑ පිළිබඳ මැනවින් අපි දැන සිටිමු. නුඹ ඔවුන් වෙත (බලහත්කාරයෙන්) බලකරන්නෙකු නොවේ. එහෙයින් මාගේ අවවාදයට බිය වන්නන්හට නුඹ අල් කුර්ආනය මෙනෙහි කරනු.