සියලුම ඉස්ලාම් පුස්තකාලය
1

පෙළින් පෙළට පෙළ ගැසී සිටින්නන්(මලක්වරු)මත දිවුරමින්.

2

තවද පසුපසින් මෙහෙයවා යන්නන් (මලක්වරු) මත දිවුරමින්.

3

තවද (අල්ලාහ්ගේ) දේව වදන් පාරායනය කරන්නන් මත දිවුරමින්.

4

නියත වශයෙන්ම නුඹලාගේ දෙවියා එකමය.

5

අහස් හා මහොපොළොවෙහි ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. තවද නැගෙනහිරවල්හි ද හිමිපාණන්ය.

6

නියත වශයෙන්ම සමීපව පිහිටි අහස අපි ග්‍රහ වස්තු මගින් අලංකාරවත් කළෙමු.

7

තවද සීමාව ඉක්මවා ගිය සෑම ෂෙයිතානුවකුගෙන්ම ආරක්ෂාවක් වශයෙනි.

8

උසස් වූ පිරිස (මලක්වරු) වෙත ඔවුන් සවන් දිය නොහැකිය. තවද ඔවුහු සෑම පැත්තකින්ම පහර දෙනු ලබති.

9

(එය) පලවා හැරීමක් වශයෙනි. තවද ඔවුනට නිරන්තර දඬුවමක් ඇත.

10

(රහස් කතා) පැහැර ගෙන සවන් දෙන්නා හැර. එවිට සිදුරු කරන උල්කාවන් ඔහු ලුහුබඳියි.

11

“මැවීමෙන් වඩාත් බලවත් වන්නේ ඔවුන් ද එසේ නැතහොත් අපි මවා ඇති දෑ දැ” යි ඔවුන්ගෙන් ඔබ විමසනු. නියත වශයෙන් අපි ඔවුන් ඇලෙන සුළු මැටියෙන් මැව්වෙමු.

12

නමුත් ඔබ පුදුම වූයෙහිය. ඔවුහු (ඒ ගැන) සමච්චල් කරති.

13

තවද ඔවුනට උපදෙස් කරනු ලබන විට ඔවුහු උපදෙස් නොලබති.

14

තවද ඔවුහු යම් සංඥාවක් දුටු විට සමච්චල් කරති.

15

තවද ඔවුහු මෙසේ පවසා සිටියහ. “මෙය පැහැදිලි හූනියමක් මිස නැත”

16

“අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෝ වෙමු ද?”

17

“අපගේ මුල් මුතුන්මිත්තන් ද (නැවත නැගිටුවනු ලබන්නෝ ද)”

18

“එසේය. තවද නුඹලා (අල්ලාහ් ඉදිරියේ) පහත් වූවන් යැ”යි ඔබ පවසනු.

19

නියත වශයෙන්ම එය එක් හඬකි. එවිට ඔවුහු එය දකිති.

20

තවද “අහෝ! අපගේ විනාශය. මෙය විනිශ්චය දිනය වේ” යැයි ඔවුහු පවසති.

21

“නුඹලා කවර දෙයක් බොරුකරමින් සිටියේ ද එම විනිශ්චය දිනය මෙය වේ” (යැයි කියනු ලැබේ.)

22

අපරාධ කළවුන් හා ඔවුන්ගේ ජොඩු ද (අල්ලාහ්ගෙන් තොර ව) ඔවුන් ගැතිකම් කරමින් සිටි දෑ ද නුඹලා එක්රැස් කරනු.

23

(අල්ලාහ්ගෙන් තොර ව) තවද නිරයේ මාවත වෙත නුඹලා ඔවුනට මග පෙන්වනු.

24

තවද නුඹලා ඔවුන් නවතා තබනු. නියත වශයෙන්ම ඔවුන් විනිශ්චය කරනු ලබන්නෝය.

25

නුඹලාට කුමක්වීද? නුඹලා එකිනෙකා උදව් කර නොගන්නෙහුය.

26

එසේ නොව ඔවුහු අද දින යටත් වූවෝය.

27

ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත මුහුණ ලා ඔවුහු එකිනෙකා විමසා ගනිති.

28

නියත වශයෙන්ම නුඹලා දකුණු දෙසින් අප වෙත පැමිණෙමින් සිටියෙහුය යැයි (සිය නායකයින් අනුගමනය කරන) ඔවුහු පවසා සිටියහ.

29

“එසේ නොව නුඹලා දෙවියන් විශ්වාස කරන්නන් නොවූයෙහු” යැයි ඔවුහු (නායකයින්) පවසා සිටියහ.

30

නුඹලා මත කිසිදු බලයක් (යෙදවීමට) අපට නොවීය. නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.

31

එහෙයින් අපට එරෙහි ව අපගේ පරමාධිපතිගේ ප්‍රකාශය නියම වී ඇත. නියත වශයෙන්ම අපි (එය) රස විඳින්නෝ වෙමු.

32

එහෙයින් අපි නුඹලා නොමග හැරියෙමු. නියත වශයෙන්ම අප ද නොමග ගියවුන් වූයෙමු.

33

එහෙයින් නියත වශයෙන්ම ඔවුහු එදින දඬුවමෙහි හවුල්කරුවෝ වෙති.

34

නියත වශයෙන්ම අපි වැරදිකරුවන් සමග කටයුතු කරන්නේ එලෙසය.

35

“අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැතැයි” ඔවුනට පැවසූ විට, නියත වශයෙන්ම ඔවුහු උඩඟුකම් පාමින් සිටියහ.

36

තවද “උමතු වූ කවියෙකු වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන් අතහැර දමන්නෝ වෙමුදැ”යි ඔවුහු පවසා සිටිති.

37

නමුත් ඔහු (මුහම්මද්) සත්‍යය සමග පැමිණියේය. තවද ඔහු (පෙර සිටි) දහම් දූතයින් සත්‍යය කළේය.

38

නියත වශයෙන්ම (අෂිශ්ට ජනයා වන) නුඹලා එම වේදනීය දඬුවම රස විඳින්නෝමය.

39

නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලාට ප්‍රතිඵල දෙනු නොලබනු ඇත.

40

නමුත් අල්ලාහ්ගේ අවංක වූ ගැත්තන් හැර.

41

තමන්ට නියම කරන ලද පෝෂණය ඇත්තෝ ඔවුහුමය.

42

පලතුරු ද ඇත. තවද ඔවුහු ගරු කරනු ලබන්නෝය.

43

(ඔවුන්) සැප පහසුකම් සහිත උයන්හි (සිටිති)

44

යහන් මත එකිනෙකාට මුහුණ ලා සිටිති.

45

(සුරා)උල්පතින් වූ කුසලාන (ජලබඳුන්) ඔවුන් වටා යවනු ලැබේ.

46

එය සුදු පැහැතිය. පානය කරන්නන් හට ප්‍රණීතය.

47

එහි (සිහිවිකල් වන ආකාරයේ) උවදුරක් නොමැත. තවද ඔවුහු එයින් (මෙලොව මත්පැන් පානය මෙන් නොව) මත් බවට පත් කරනු ලබන්නෝ නොවෙති.

48

තවද දමිත බැල්මෙන් යුත් ලලනාවෝ ඔවුන් අබියස වෙති.

49

නියත වශයෙන්ම ඔවුන් (ලලනාවෝ) සඟවා තබනු ලැබූ බිත්තර මෙනි.

50

ඔවුන් (සුවර්ග වැසියන්) එකිනෙකා (මෙලොව කටයුතු කළ ආකාරය) විමසා ගනිමින් ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ඉදිරියට එනු ඇත.

51

නියත වශයෙන්ම මට සමීප මිතුරෙකු සිටියේ යැයි ඔවුන් අතුරින් ප්‍රකාශකයකු පවසනු ඇත.

52

නියත වශයෙන්ම ඔබ සත්‍ය කරන්නන් අතුරින් දැ?යි ඔහු විමසයි.

53

අප මිය ගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අප විමසනු ලබන්නේ දැ?(යි ද ඔහු විමසයි.)

54

නුඹලා එබී බැලිය යුත්තෝ දැයි ඔහු විමසයි.

55

එවිට ඔහු එබී බලයි. එවිට ඔහු නිරය මැද සිටිනු ඔහු දකිනු ඇත.

56

අල්ලාහ් මත දිවුරා (පවසමි). ඔබ මා විනාශ කරන්නට තැත් කළෙහිය යැයි ඔහු පැවැසුවේය.

57

මාගේ පරමාධිපතිගේ ආශිර්වාදය නොවී නම් මා ද (නිරයට) සම්මුඛ කරනු ලබන්නන් අතුරින් වෙමි.

58

එසේ නම් අප මිය යන්නන් ලෙස නොවන්නෙමු ද?

59

අපගේ මුල් මරණය මිස. තවද අපි දඬුවම් කරනු ලබන්නන් නොවෙමු.

60

නියත වශයෙන්ම මෙයමය අතිමහත් ජයග්‍රහණය.

61

මෙවන් දැයට ක්‍රියා කරන්නෝ ක්‍රියා කරත්වා!

62

සංග්‍රහයෙන් ශ්‍රේෂ්ඨ වනුයේ එය ද එසේ නැතහොත් zසක්කූම් (නම් කටු) ගසද?

63

නියත වශයෙන්ම අපි එය අපරාධකරුවන්ට පරීක්ෂණයක් බවට පත් කළෙමු.

64

නියත වශයෙන්ම එය නිරය පතුලෙහි මතු වෙන ගසකි.

65

එහි පොහොට්ටු ෂෙයිතානුන්ගේ හිස් මෙනි.

66

එවිට ඔවුහු එයින් (zසක්කූම් නම් කටු ගසින්) අනුභව කරන්නෝ වෙති. එවිට ඔවුහු එයින් කුසවල් පුරවාගන්නෝ වෙති.

67

පසු ව නියත වශයෙන්ම ඔවුනට එහි (zසක්කූම් නම් කටු ගසින් අනුභව කළ පසු) ලෝ දියෙන් යුත් පානයක් ඇත.

68

පසු ව නියත වශයෙන්ම ඔවුන් යොමු කරනු ලබන ස්ථානය ඇත්තේ නිරය වෙතය.

69

නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ මුතුන් මිත්තන් නොමග ගියවුන් බව දුටුවෝය.

70

එහෙත් ඔවුහු ඔවුන්ගේ සලකුණු මත යන්නට යුහුසුළු වෙති.

71

ඔවුනට පෙර සිටි මුතුන් මිත්තන් බහුතරයක් දෙනා සැබැවින්ම නොමග ගියෝය.

72

තවද සැබැවින්ම අපි ඔවුන් අතරට අවවාද කරන්නන් එව්වෙමු.

73

අවවාද කරනු ලැබූ (නමුත් ඒවා ඉවත දැමු)වන්ගේ අවසානය කෙසේ වූයේ දැයි මැනවින් බලනු.

74

අල්ලාහ්ගේ අවංක ගැත්තන්ට හැර (ඔවුන්ගේ අවසානය යහපත් විය).

75

තවද සැබැවින්ම නූහ් අප ඇමතුවේය. එවිට (අපි) යහපත් ප්‍රතිචාර දක්වන්නන්ගෙන් ඉතා ශ්‍රේෂ්ඨයින් වූයෙමු.

76

අපි ඔහු හා ඔහුගේ නිවැසියන් මහා විපතින් මුදවා ගත්තෙමු.

77

තවද අපි ඔහුගේ පරපුර ඉතිරිවූවන් බවට පත් කළෙමු.

78

තවද පසු පැමිණි පරපුර අතර ඔහුගේ (පැසසුම) පැතිරෙන්නට සැලැස්සුවෙමු.

79

ලෝවැසියන් අතර නූහ් ට ශාන්තිය අත්වේවා!

80

නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.

81

නියත වශයෙන්ම (නූහ් වන) ඔහු දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් විය.

82

පසු ව අපි සෙස්සන් (දියේ) ගිල්වූයෙමු.

83

තවද නියත වශයෙන්ම ඔහුගේ පිළිවෙතින් වූ කෙනෙකි ඉබ්‍රාහීම්.

84

සන්සුන් හදවතකින් ඔහු ඔහුගේ පරමාධිපති වෙත පැමිණි අවස්ථාව සිහිපත් කරනු.

85

‘නුඹලා කුමක් නමදින්නෙහුදැ?’යි ඔහු තම පියාට හා තම ජනයාට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

86

“අල්ලාහ් හැර ව්‍යාජ දෙවිවරුන් නුඹලා අපේක්ෂා කරන්නෙහු ද?”

87

“එසේ නම් ලෝවැසියන්ගේ පරමාධිපති පිළිබඳ නුඹලාගේ අදහස කුමක් ද?”

88

එවිට ඔහු (ඉබ්රාහීම්) තාරකා අතර මනා බැල්මකින් අධීක්ෂණයෙන් බැලුවේය.

89

එවිට (ඔවුන්ගේ උත්සවයට සහභාගි වීම වළක්වනු පිණිස) ‘නියත වශයෙන්ම මම රෝගියෙකි’ යැයි ඔහු පැවසුවේය.

90

එවිට ඔවුහු (ඉබ්රාහීම්ගේ සමූහය) පිටුපාන්නන් ලෙසින් ඔහු වෙතින් හැරී ගියෝය.

91

පසු ව ඔහු ඔවුන්ගේ දෙවිවරුන් (පිළිම) වෙත හීන් සීරුවේ ගොස් “නුඹලා අනුභව නොකරන්නේ කුමක් නිසාද?” යැයි විමසා සිටියේය.

92

“නුඹලා කතා නොකර සිටීමට නුඹලාට කුමක් වීද?“

93

පසු ව ඔහු (ඉබ්‍රාහීම්) ඔවුන් (පිළිම) වෙත හීන්සීරුවේ ගොස් තම දකුණතින් පහරක් දුන්නේය.

94

ඔවුහු (ඉබ්රාහීම් වෙත) වේගයෙන් ගමන් ගනිමින් ඔහු ඉදිරියට පැමිණියෝය.

95

“නුඹලා කැටයම් කළ දෑට නුඹලා ගැතිකම් කරන්නෙහුදැ?”යි ඔහු (ඉබ්රාහීම්) විමසුවේය.

96

“තවද අල්ලාහ් නුඹලා සහ නුඹලා ඉදි කරන දෑ මැව්වේය.“

97

“ඔහු (ඉබ්රාහීම්) වෙනුවෙන් ගොඩනැගිල්ලක් තනා පසුව ඔහුව ගින්නෙහි හෙළනු යැ”යි ඔවුහු පැවසූහ.

98

එවිට ඔවුහු ඔහුට (ඉබ්‍රාහීම් ට) කුමන්ත්‍රණයක් කිරීමට අදහස් කළෝය. එහෙයින් අපි ඔවුන් පහත්වූවන් බවට පත් කළෙමු.

99

“නියත වශයෙන්ම මම මාගේ පරමාධිපති වෙත යන්නෙකු වෙමි. ඔහු මට මග පෙන්වනු ඇතැයි” (ගින්නෙන් මිදුනු) ඔහු පැවසුවේය.

100

මාගේ පරමාධිපතියාණෙනි! මා හට දැහැමියන් අතුරින් කෙනෙකු පිරිනමනු (යැයි ඉබ්‍රාහීම් පැවසුවේය.)

101

එවිට ඉවසිලිවන්ත දරුවකු පිළිබඳ ව අපි ඔහුට ශුභාරංචි දුන්නෙමු.

102

ඔහු (ඉබ්රාහීම්) සමග ඇවිද යන වියට ඔහු ළඟා වූ කල්හි, “අහෝ මාගේ පුතණුවනි! නියත වශයෙන්ම මම ඔබගේ ගෙල සිඳ දමන්නාක් මෙන් සිහිනයක් දුටුවෙමි. එහෙයින් (ඒ ගැන) ඔබ අදහස් කරනුයේ කුමක්දැයි බලනු.” යැයි කීහ. “අහෝ මාගේ පියාණෙනි! ඔබට අණ කරනු ලබන දෑ ඔබ සිදු කරනු. අල්ලාහ්ගේ අභිමතය පරිදි ඔබ මා ඉවසිලිවන්තයින් අතුරින් දැක ගනු ඇතැයි” ඔහු (පුතු) පැවසීය.

103

පසු ව ඔවුන් දෙදෙනා (අල්ලාහ්ගේ අභිමතයට) එකඟ වූ කල්හි (ඉබ්‍රාහීම්) ඔහු (ඉස්මායිල් වන) ඔහු ව මුණින් අතට පෙරළා දැමීය.

104

තවද ‘අහෝ ඉබ්‍රාහීම්!’ යැයි අපි ඔහු ඇමතුවෙමු.

105

“සැබැවින්ම ඔබ සිහිනය සැබෑ කළෙහිය.” නියත වශයෙන්ම අපි එලෙසය දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ.

106

නියත වශයෙන්ම පැහැදිලි පරීක්ෂාව මෙයමය.

107

මහත් වූ (සත්ව) කැපයක් අපි ඔහුට ඇප වශයෙන් පිරිනැමුවෙමු.

108

තවද සෙස්සන් අතර ඔහු (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු.

109

“ඉබ්‍රාහීම් වෙත ශාන්තිය අත්වේවා!”

110

අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.

111

නියත වශයෙන්ම ඔහු දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් විය.

112

තවද අපි දැහැමියන් අතුරින් නබිවරයකු වශයෙන් ඉස්හාක් පිළිබඳව ඔහුට (ඉබ්රාහීම්ට) ශුභාරංචි දැන්වූයෙමු.

113

තවද අපි ඔහු (ඉබ්රාහීම්) වෙත හා ඉස්හාක් වෙත අභිවෘද්ධිය ලබා දුනිමු. තවද ඔවුන් දෙදෙනාගේ පරපුරින් දැහැමි අය ද ප්‍රකට ලෙස තමන්ටම අපරාධ කර ගන්නා අය ද විය.

114

තවද සැබැවින්ම අපි මූසා හා හාරූන් වෙත උපකාර කළෙමු.

115

තවද අපි ඔවුන් දෙදෙනා හා ඔවුන් දෙදෙනාගේ පිරිස මහත් වූ ව්‍යසනයෙන් මුදවා ගත්තෙමු.

116

තවද අපි ඔවුනට (මූසා,හාරූන් හා ඔවුන්ගේ සමාජයට) උදව් කළෙමු. එහෙයින් ඔවුහු අබිබවා යන්නන් වූහ.

117

තවද අපි ඔවුන් දෙදෙනාට පැහැදිලි දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු.

118

තවද අපි ඍජු මාර්ගය වෙත ඔවුන් දෙදෙනාට (මූසා සහ හාරූන්) මග පෙන්වූයෙමු.

119

තවද සෙස්සන් අතර ඔවුන් දෙදෙනා(ගේ පැසසුම) අපි පැතිරෙන්නට සැළැස්සුවෙමු.

120

තවද මූසා හා හාරූන් වෙත ශාන්තිය අත්වේවා!

121

නියත වශයෙන්ම අපි දැහැමියන්ට ත්‍යාග පිරිනමනුයේ එලෙසය.

122

නියත වශයෙන්ම ඔවුන් දෙදෙනා දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් වෙති.

123

තවද නියත වශයෙන්ම ඉල්යාස් දහම් දූතයින් අතුරිනි.

124

“නුඹලා බැතිමත් නොවන්නෙහු දැ”යි ඔහු තම ජනයාට පැවසූ අවස්ථාව සිහියට නගනු.

125

“මැවුම්කරුවන්ගෙන් වඩාත් විශිෂ්ටතයා අතහැර දමා නුඹලා (බඅල් නම්) වෙනත් දෙවියකුට ඇරයුම් කරන්නෙහු ද?

126

ඔහු නුඹලාගේ පරමාධිපති වූ ද නුඹලාගේ මුල් මුතුන්මිත්තන්ගේ පරමාධිපති වූ අල්ලාහ් ය.

127

නමුත් ඔවුහු ඔහු බොරු කළෝය. එහෙයින් ඔවුහු (විනිශ්චය වෙත) ඉදිරිපත් කරනු ලබන්නෝ වූහ.

128

නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර ( අවංක ගැත්තන්ට යහපත් ප්‍රතිඵල ලබා දෙනු ලැබේ).

129

තවද සෙස්සන් අතර ඔහු (පැසසුමට ලක්වන්නට) අපි අතහැර දැමුවෙමු.

130

ඉල්යාස් වෙත ශාන්තිය අත්වේවා!

131

නියත වශයෙන්ම අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමනුයේ එලෙසය.

132

නියත වශයෙන්ම ඔහු (ඉල්යාස්) දෙවියන් විශ්වාස කරන අපගේ ගැත්තන් අතුරින් වෙයි.

133

තවද නියත වශයෙන්ම ලූත් දහම් දූතයින් අතුරිනි.

134

ඔහු හා ඔහුගේ සෙසු සියලු නිවැසියන් මුදවා ගත් අවස්ථාව සිහිපත් කරනු.

135

ඉතිරි වූවන් අතර වූ මැහැල්ලියක් හැර (ඇය දඬුවම් ලැබුවන් සමගය).

136

පසු ව අපි සෙස්සන් සහමුලින්ම විනාශ කළෙමු.

137

තවද නියත වශයෙන්ම නුඹලා (මක්කාපුර වැසියෙනි) උදෑසන ද ඔවුන්(ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන) පසුකර ගමන් ගන්නෙහුය.

138

රාත්‍රියෙහි ද (ඔවුන්ගේ විනාශ කරනු ලැබූ වාසස්ථාන පසුකර ගමන් ගන්නෙහුය) එහෙයින් නුඹලා වටහා නොගන්නෙහු ද?

139

තවද නියත වශයෙන්ම යූනුස් දහම් දූතයින් අතුරිනි.

140

පටවන ලද නැව වෙත ඔහු පලා ගිය අවස්ථාව සිහියට නගනු.

141

එවිට කුසපත් ඇද්දේය. එවිට ඔහු කුසපත් ඇදීමෙන් තෝරා ගනු ලැබූවන් අතුරින් විය.

142

පසු ව ඔහු දොස් නගනු ලැබූ තත්ත්වයේ මත්සයා ඔහු ගිල දැමීය.

143

නියත වශයෙන්ම ඔහු සුවිශුද්ධ කරන්නන් අතුරින් කෙනෙකු නොවී නම්,

144

ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා උගේ කුස තුළ රැඳෙන්නට තිබුණි.

145

එවිට ඔහු රෝගී ව සිටිය දී අපි ඔහු පාළු වෙරළකට හෙළුවෙමු.

146

තවද අපි ඒ මත වැල් වලින් යුත් (ලබු වැනි) ගසක් හට ගැන්වූයෙමු.

147

තවද අපි ඔහු සිය දහසක් දෙනා වෙත හෝ (ඊට වඩා) අධික වූ අය වෙත දහම් දූතයකු ලෙස එව්වෙමු.

148

එවිට ඔවුහු විශ්වාස කළෝය. එහෙයින් අපි ඔවුනට ටික කලකට භුක්ති විඳින්නට සැලැස්වූයෙමු.

149

නබිවරය ( අල්ලාහ්ට සමාන තබන ) ඔවුන්ගෙන් පරමාධිපතිට ගැහැනු දරුවන් සහ ඔවුනට පිරිමි දරුවන් දැයි ඔබ කරුණු විමසනු.

150

එසේ නැතහොත් (අප ඉදිරියේ) ඔවුන් සාක්ෂිකරුවන් ලෙස සිටිය දී අපි මලක්වරුන් කාන්තාවන් ලෙස මවා ඇත්තෙමු ද?

151

දැනගනු. නියත වශයෙන්ම ඔවුන් බොරු ගොතමින් පවසනුයේ,

152

අල්ලාහ් ජාතක කළ බවයි. නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.

153

ඔහු පුතුන්ට වඩා දූවරුන් තෝරා ගත්තේද?

154

නුඹලාට කුමක් වී ද? නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද?

155

නුඹලා මෙනෙහි නොකරන්නෙහු ද?

156

නැතහොත් (මේ පිළිබඳ) නුඹලාට පැහැදිලි සාධකයක් තිබේ ද?

157

එසේ නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම්, නුඹලා නුඹලාගේ (බල සහිත) පුස්තකය ගෙන එනු.

158

තවද ඔහු අතර හා ජින්නුන් අතර ඔවුහු නෑදෑකමක් ඇති කළෝය. තවද නියත වශයෙන්ම තමන් සම්මුඛ කරනු ලබන්නෝම යැයි ජින්වරුන් සැබැවින්ම දැනගත්තෝය.

159

ඔවුන් ආරෝපණය කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.

160

නමුත් අල්ලාහ්ගේ අවංක ගැත්තන් හැර (සියලු දෙනා දඬුවමට ලක්වෙති).

161

එහෙයින් සැබැවින්ම නුඹලා හා නුඹලා නමදින දෑ ,

162

ඔහුට එරෙහිව නොමග හරින්නන් ලෙස (ආදේශ කරන්නන් වන) නුඹලා නැත.

163

නිරා ගින්නට පිවිසීමට කළින් නියම කරනු ලැබුවන් හැර (අල්ලාහ්ගේ යහපත් ගැත්තන් නිරයට නොපිවිසෙති).

164

නියම කරනු ලැබූ ස්ථානයක් තමන්ට හිමිව ඇත්තන් මිස අප අතුරින් (කිසිවෙක්) නැත.

165

තවද නියත වශයෙන්ම අපමය පෙළගැසෙන්නෝ.

166

තවද නියත වශයෙන්ම අපමය පිවිතුරු කරන්නෝ.

167

(මෙසේ) ඔවුහු පවසමින් සිටියෝය.

168

(එනම්) මුල් අයගෙන් වූ මෙනෙහි කිරීමක් සැබැවින්ම අප වෙත තිබුණේ නම්,

169

සැබැවින්ම අපි අල්ලාහ්ගේ අවංක ගැත්තන් වන්නට තිබුණි යැයි (ඔවුහු පවසමින් සිටියෝය.)

170

නමුත් ඔවුහු එය (කුර්ආනය) ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.

171

දූතයන් වශයෙන් එවනු ලැබූ අපගේ ගැත්තන් හට අපගේ (ජයග්‍රහණයේ) වදන සැබැවින්ම පෙරටු විය.

172

නියත වශයෙන්ම ඔවුහුමය උදව් කරනු ලබන්නෝ.

173

තවද නියත වශයෙන්ම අපගේ සේනාව වන ඔවුහුමය (අබිබවා යමින්) ජය ලබන්නෝ.

174

එහෙයින් ඔබ (රසූල්වරයාණෙනි) මද කලක් දක්වා ඔවුන්ගෙන් ඉවත් ව සිටිනු.

175

තවද ඔවුන් ගැන ඔබ බලා සිටිනු. එවිට ඔවුන් (ඔවුන්ගේ දඬුවම) මතු දකිනු ඇත.

176

එහෙයින් අපගේ දඬුවම ද ඔවුන් (ආදේශ කරන්නන්) ඉක්මණින් පතනුයේ?

177

පසුව එය (අපේ දඬුවම) ඔවුන්ගේ මිදුලට පහළ වූ විට, අවවාද කරනු ලැබූවන්ගේ උදෑසන නපුරු විය.

178

මද කලක් දක්වා ඔවුන්ගෙන් ඔබ ඉවත් ව සිටිනු.

179

තවද ඔවුන් ගැන ඔබ බලා සිටිනු. එවිට ඔවුන්(ගේ දඬුවම) මතු දකිනු ඇත.

180

ගෞරවය හිමි ඔබේ පරමාධිපති ඔවුන් වර්ණනා කරන දැයින් සුවිශුද්ධය.

181

සියලුම දහම් දූතයින් වෙත (සලාම් හෙවත්) සාමය අත්වේවා!

182

ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා හිමිය.