All Islam Directory
1

තාහා

2

නුඹ දුකට පත් වනු පිණිස අපි නුඹ වෙත කුර්ආනය පහළ නොකළෙමු.

3

බියෙන් පසු වන අයට උපදෙසක් වශයෙන් මිස (එය පහළ නොකළෙමු).

4

(මෙය) මහපොළොව හා උස් වූ අහස් මැවූ ඔහුගෙන් වූ පහළ කිරීමකි.

5

මහා කරුණාන්විතයාණන් අර්ෂ් මත ස්ථාපිත විය.

6

අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඒ දෙක අතර ඇති දෑ ද පස් යට ඇති දෑ ද ඔහු සතුය.

7

ප්‍රකාශය නුඹ හඬ නඟා පැවසුව ද (එහි වෙනසක් නොමැත) හේතුව රහස් දෑ හා සඟවන දෑ නියත වශයෙන්ම ඔහු දනී.

8

අල්ලාහ්, ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔහුට අලංකාර නාමයන් ඇත.

9

තවද මූසාගේ පුවත නුඹ වෙත පැමිණියේ ද?

10

ඔහු ගින්නක් දුටු අවස්ථාවේ ‘නුඹලා රැඳී සිටිනු. නියත වශයෙන්ම මම ගින්නක් දුටුවෙමි. එයින් ගිනි මැලයක් නුඹලා වෙත ගෙන එන්නට මට පුළුවණ. එසේ නැතහොත් ගින්න සඳහා වූ මග පෙන්වීමක් මා ලබන්නට පුළුවණ’ යැයි තම පවුලට ඔහු පැවසුවේය.

11

ඔහු ඒ වෙත පැමිණි කල්හි ‘අහෝ ! මූසා;

12

නියත වශයෙන්ම මම නුඹගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹගේ පාවහන් යුගල නුඹ ගලවා දමනු. නියත වශයෙන්ම නුඹ පාරිශුද්ධත්වයට පත් කරනු ලැබූ තුවා නම් මිටියාවතෙහිය’ යැයි අමතනු ලැබීය.

13

තවද මම නුඹ ව (නබිවරයකු වශයෙන්) තෝරා ගත්තෙමි. එහෙයින් හෙළිදරව් කරනු ලබන දෑට නුඹ සවන් දෙනු.

14

නියත වශයෙන්ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවිඳෙකු නොමැත. එහෙයින් නුඹ මට ගැතිකම් කරනු. තවද මා මෙනෙහි කරනු වස් නුඹ සලාතය විධිමත් ව ඉටු කරනු.

15

නියත වශයෙන්ම (අවසන්) හෝරාව පැමිණෙන්නකි. සෑම ආත්මයකටම තමන් වෙහෙස වූ දෑ සඳහා ප්‍රතිඵල දෙනු ලබනු පිණිස මම එය සඟවා ඇත්තෙමි.

16

එහෙයින් ඒ පිළිබඳ විශ්වාස නොකර තම ආශාවන් අනුගමනය කළ අය නුඹ ව එයින් (මරණින් මතු දිනය ගැන විශ්වාස කිරීමෙන්) නොවැළැක්විය යුතුය. එසේ (වැළකී සිටියේ නම්) නුඹ විනාශයට පත්වන්නෙහිය.

17

අහෝ ! මූසා, නුඹේ දකුණතෙහි ඇති‍ එය කුමක් ද?

18

‘එය මාගේ සැරයටිය වේ. මම ඒ මත බර දී සිටිමි. තවද එමගින් මාගේ එළුවන්ට (අතු කොළ) කඩා බිම දමමි. තවද මට එහි වෙනත් අවශ්‍යතාවන් ද ඇත’ යැයි ඔහු (මූසා) පැවසීය.

19

‘අහෝ ! මූසා, නුඹ එය බිම හෙළනු’ යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.

20

එවිට ඔහු එය බිම හෙළීය. එසැණින් එය බඩගා යන සර්පයෙකු බවට පත් විය.

21

නුඹ එය අල්ලනු. තවද නුඹ බිය නොවනු. එහි මුල් ස්වභාවයටම එය නැවත පත් කරන්නෙමු යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.

22

නුඹේ අත නුඹේ කිහිල්ල වෙත එකතු කර තබනු. කිසිදු හානියකින් තොර ව තවත් සංඥාවක් ලෙස සුදුවන් දීප්තියක් එය පිට කරනු ඇත.

23

(එය) අපගේ මහත් වූ සංඥාවන් අතුරින් අප නුඹට පෙන්වීම පිණිසය.

24

නුඹ ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.

25

(එවිට මූසා) මාගේ පරමාධිපතියාණනි, මාගේ හදවත මා වෙත විවෘත කර දෙනු මැනව ! යැයි ප්‍රාර්ථනා කළේය.

26

තවද මාගේ කරුණ මා හට පහසු කර දෙනු මැනව !

27

තවද මාගේ දිවෙහි ගැටය ලිහනු මැනව !

28

මාගේ ප්‍රකාශය ඔවුහු වටහා ගන්නා අයුරින්

29

මාහට මාගේ පවුලෙන් උදව්කරුවකු පත් කරනු මැනව!

30

මාගේ සහෝදර හාරූන් ව ( එසේ පත් කරනු මැනව) !

31

ඔහු මගින් මාගේ අත ඔබ ශක්තිමත් කරනු මැනව!

32

තවද මාගේ කරුණෙහි ඔහු ව ද හවුල් කරවනු මැනව!

33

අධික ව අපි නුඹ ව පිවිතුරු කිරීම සඳහා

34

තවද අධික ව අපි නුඹ ව මෙනෙහි කිරීම සඳහා.

35

නියත වශයෙන්ම නුඹ අප ගැන නිරීක්ෂා කරන්නෙකු ව සිටියෙහිය.

36

අහෝ ! මූසා, නුඹේ ඉල්ලීම සැබැවින් නුඹට දෙනු ලැබුවේ යැයි ඔහු පැවසීය.

37

තවද (මීට පෙර) තවත් වරක් අපි නුඹ වෙත සැබැවින්ම උපකාර කළෙමු.

38

හෙළිදරව් කරනු ලබන දෑ නුඹගේ මව වෙත අපි හෙළිදරව් කළ අවස්ථාව සිහිපත් කරනු.

39

පෙට්ටිය තුළ ඔහු බහාලනු. පසු ව (නීල්) ගඟහි එය දමනු. (නීල්) ගඟ ඔහු ව අද්දරට ගෙන යයි. මාගේ සතුරා හා ඔහුගේ සතුරා එය ගනු ඇත. තවද මා විසින් (මාගේ) සෙනෙහස නුඹ වෙත හෙළුවෙමි. තවද මාගේ දෑස් ඉදිරිපිට නුඹ ක්‍රියා කරනු ලබනු පිණිසය.

40

නුඹගේ සහෝදරිය (ඒ පසුපස) ගමන් කළ අවස්ථාවේ ‘මොහුගේ භාරකාරත්වය උසුලන අයෙකු මම නුඹලාට දන්වා සිටින්නදැයි’ ඇය පැවසුවාය. පසු ව අපි ඇය දුක් නොවනු පිණිස හා ඇයගේ නෙත් පිනවනු පිණිස නුඹ ව නුඹගේ මව වෙත නැවත යොමු කළෙමු. තවද නුඹ ආත්මයක් මරා දැමුවෙහිය. පසු ව එම පීඩනයෙන් අපි නුඹ ව මුදවා ගත්තෙමු. (විවිධ) පරීක්ෂණ මගින් අපි නුඹ පිරික්සුවෙමු. නුඹ මද්යන් වාසීන් අතර රැඳී සිටියෙහිය. පසු ව අහෝ මූසා, නියමිත කාලයෙහි නුඹ පැමිණියෙහිය.

41

තවද මා(ගේ දූත මෙහෙවර) වෙනුවෙන් මම නුඹ ව සූදානම් කළෙමි.

42

නුඹ හා නුඹගේ සහෝදරයා මාගේ සංඥාවන් සමග පිටත් ව යනු. මා ගැන මෙනෙහි කිරීමෙහි නුඹලා දෙදෙනා අධෛර්යමත් නොවනු.

43

නුඹලා දෙදෙනා ෆිර්අවුන් වෙත යනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවා ගොස් ඇත.

44

එවිට නුඹලා දෙදෙනා මෘදු වදනින් ඔහු සමග කතා කරනු. ඔහු උපදෙස් ලබන්නට හෝ ඔහු බියවන්නට හෝ පුළුවන.

45

අපගේ පරමාධිපතියාණෙනි, ඔහු අප වෙත දඬුවම් කිරීම හෝ සීමාව ඉක්මවා කටයුතු කිරීම ගැන නියත වශයෙන්ම අපි බිය වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා පැවසුවෝය.

46

නුඹලා දෙදෙනා බිය නොවනු. නියත වශයෙන්ම මම නුඹලා දෙදෙනා සමග සිට සවන් දෙමි. තවද (සියල්ල) දකිමි.

47

එහෙයින් නුඹලා දෙදෙනා ඔහු වෙත පැමිණ ‘නියත වශයෙන්ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතවරු දෙදෙනෙකි. එහෙයින් අප සමග ඉස්රාඊල් දරුවන් එවනු. තවද නුඹ ඔවුනට දඬුවම් නොකරනු. නුඹගේ පරමාධිපතිගෙන් වූ සාධකයක් සමග සැබැවින්ම අපි නුඹ වෙත පැමිණ ඇත්තෙමු. යහ මග අනුගමනය කළවුන් මත ශාන්තිය අත් වේවා! යැයි පැවසූහ.

48

නියත වශයෙන්ම දඬුවම (අපගේ සංඥා) බොරු කොට පිටුපා ගියවුන් කෙරෙහිය යැයි සැබැවින්ම අප වෙත දේව පණිවිඩ දෙන ලදී.

49

අහෝ මූසා! එසේ නම් නුඹලා දෙදෙනාගේ පරමාධිපති කවුදැයි ඔහු විමසීය.

50

අපගේ පරමාධිපති වනාහි ඔහුගේ සෑම මැවීම් වලට සැලැසුම් පිරිනමා පසුව මග පෙන්වීම ලබා දුන්නේය." යැයි ඔහු (මූසා) පිළිතුරු දුන්නේය.

51

එසේ නම් මුල් පරම්පරාවන්ගේ තත්ත්වය කුමක්දැ?යි ඔහු විමසීය.

52

ඒ පිළිබඳ දැනුම මාගේ පරමාධිපති අබියස දේව ග්‍රන්ථයෙහි ඇත්තේය. මාගේ පරමාධිපති නොමග නොයවනු ඇත. තවද අමතක නොකරනු ඇතැයි ඔහු පැවසීය.

53

ඔහු වනාහි නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් බවට පත් කළේය. තවද එහි නුඹලාට මාර්ග පහසුකම් සැලසුවේය. තවද අහසින් ජලය පතිත කර එමගින් විවිධ පැළෑටි වර්ග හට ගැන්වීය.

54

නුඹලා අනුභව කරනු. තවද නුඹලාගේ ගොවිපළ සතුන්ට බුදින්නට දෙනු. නියත වශයෙන්ම එහි බුද්ධිය ඇත්තවුන් හට සංඥාවන් ඇත.

55

අප නුඹලා මැව්වේ එයින්ය. තවද අප නුඹලා නැවත යොමු කරනුයේ ඒ තුළටය. යළිත් වරක් අප නුඹලා බැහැර කරනුයේ ද එයින්ය.

56

සැබැවින්ම අපි අපගේ ඒ සියලු සාධක ඔහුට පෙන්වූයෙමු. නමුත් ඔහු බොරු කළේය. තවද පිටුපෑවේය.

57

අහෝ, මූසා ! නුඹ නුඹගේ හූනියම මගින් අපගේ භූමියෙන් අප බැහැර කිරීමට නුඹ අප වෙත පැමිණියෙහිදැයි ඔහු පැවසීය.

58

එසේ නම් අපි ද එවැනිම හූනියමක් ඔබ වෙත ගෙන එන්නෙමු. එහෙයින් අප හෝ ඔබ එයට විරුද්ධ නොවන පොරොන්දු වූ වේලාවක මධ්‍යස්ථ ස්ථානයක් අප අතර හා ඔබ අතර පත් කරනු.

59

නුඹලාට පොරොන්දු වූ වේලාව සැණකෙළි දිනය වේ. තවද (එදින) ජනයා උදෑසන රැස් කරනු ලැබිය යුතුය.

60

එවිට ෆිර්අවුන් පසුපසට ගොස් ඔහුගේ කුමන්ත්‍රණය එක්ලැස් කොට පසු ව පැමිණියේය.

61

නුඹලාට විනාශය වේවා! අල්ලාහ් කෙරෙහි නුඹලා බොරු නොගොතනු. එවිට ඔහු නුඹලා ව දඬුවමකින් විනාශ කරනු ඇත. තවද බොරු ගෙතූවන් සැබැවින්ම පරාජයට පත් ව ඇත යැයි මූසා ඔවුනට (හූනියම්කරුවන්ට) පැවසීය.

62

පසු ව ඔවුන් අතර වූ ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා මත ගැටුම් ඇති කර ගත්තෝය. තවද ඔවුහු රහස් සාකච්ඡා රහසින් කතා කළෝය.

63

නියත වශයෙන්ම මොවුන් දෙදෙනා හූනියම්කරුවන් දෙදෙනෙකු වෙයි. ඔවුන් දෙදෙනාගේ හූනියම මගින් නුඹලා ව නුඹලාගේ භූමියෙන් පිටුවහල් කිරීමටත් නුඹලාගේ ආදර්ශමත් මාර්ගයෙන් ඉවත් කිරීමටත් ඔවුන් දෙදෙනා අපේක්ෂා කරති.

64

එහෙයින් නුඹලාගේ කුමන්ත්‍රණ නුඹලා එක්ලැස් කරනු. පසු ව පෙළ ගැසී පැමිණෙනු. තවද අද දින උසස්කම ලබන්නා සැබැවින්ම ජය ලබනු ඇත.

65

(හුනියම් කිරීමට පැමිණි ඔබනු මූසා අමතා) අහෝ ! මූසා එක්කෝ නුඹ (මුලින්ම ඔබ සතු දෑ බිම ) හෙළිය යුතුය. එසේ නැතහොත් (හූනියම් සඳහා වූ දෑ බිම) හෙළන්නන්ගෙන් මුල් අය අප වන්න දැයි ඔවුහු පැවසුවෝය.

66

‘එසේ නම් නුඹලා හෙළනු’ යැයි ඔහු (මූසා) පැවසුවේය.එවිට ඔවුන්ගේ හූනියම හේතුවෙන් ඔවුන් සතු ලණු හා සැරයටිය (සර්පයන් සේ) ගමන් කරන්නාක් මෙන් දිස් විය.

67

එවිට මූසාට, ඔහුගේ සිත තුළ බිය හැඟීමක් ඇති කරන්නට විය.

68

නුඹ බිය නොවනු. නියත වශයෙන්ම උසස් වනුයේ නුඹ ම යැයි අපි පැවසුවෙමු.

69

නුඹේ දකුණතෙහි ඇති දෑ නුඹ හෙළනු. ඔවුන් සිදු කළ දෑ එය ගිල දමනු ඇත. එසේ ඔවුන් සිදු කළේ හූනියම්කරුවකුගේ කුමන්ත්‍රණයයි. හූනියම්කරුවා කවර අයුරින් පැමිණිය ද ජය නොලබනු ඇත.

70

එවිට හූනියම්කරුවෝ සිරස බිම තබමින් බිම ඇඳ වැටී ‘අපි හාරූන්ගේ හා මූසාගේ පරමාධිපති ව විශ්වාස කළෙමු’ යැයි පැවසූහ.

71

මම නුඹලාට අවසර දීමට පෙර නුඹලා ඔහු ව විශ්වාස කළෙහු ද? නියත වශයෙන් නුඹලාට හූනියම් ඉගැන් වූ ඔහු නුඹලාගේ ප්‍රධානියා වී ඇත. එහෙයින් මම නුඹලාගේ අත් හා නුඹලාගේ පාද (පැති) මාරුවෙන් මාරුව කපා දමමි. තවද ඉඳි කඳෙහි නුඹලා බැඳ දමා ඇණ ගසමි. තවද අප අතුරින් දඬුවම් දීමෙහි වඩාත් ප්‍රබල හා සැමදා සිටින්නා කවරෙකු දැයි නුඹලා දැන ගනු ඇත යැයි ඔහු (ෆිර්අව්න්) පැවැසුවේය.

72

පැහැදිලි සාධක අතුරින් අප වෙත පැමිණි දෑ හා අප මැවූ අයට ඉහළින් නුඹ ව අපි තෝරා නොගන්නෙමු. එහෙයින් නුඹ තීන්දු කරන දෑ තීන්දු කරනු. නුඹ තීන්දු කරනුයේ මෙලොව ජීවිතයේ පමණය යැයි (හූනියම්කරුවන් ෆිර්අව්න් අමතා) පැවැසූහ.

73

නියත වශයෙන්ම අපි අපගේ පරමාධිපති විශ්වාස කළෙමු. අපගේ වැරදි වලටත් නුඹ කවර දෙයක් වෙත හූනියම් කිරීමට බල කළේද එයටත් ඔහු අපට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය. වඩාත් ස්ථායීය.

74

නියත වශයෙන්ම කරුණ නම්, කවරෙකු තම පරමාධිපති වෙත වැරදිකරුවකු ලෙසින් පැමිණෙන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහුට නිරය සතු වේ. ඔහු එහි මිය නොයන අතර ජීවත් ද නොවෙයි.

75

කවරෙකු විශ්වාසවන්තයකු ලෙසින් යහකම් සිදු කොට ඔහු වෙත පැමිණෙන්නේ ද ඔවුහු වනාහි, ඔවුනට උසස් තරාතිරම් ඇත්තෝ වෙති.

76

යටින් ගංගා ගලා බස්නා සදාතනික උයන් ඇත. ඔවුන් එහි සදාතනිකයින්ය. එය පිවිතුරු කර ගත්තවූවන්ගේ ප්‍රතිඵල වේ.

77

තවද නුඹ මාගේ ගැත්තන් සමග රාත්‍රියෙහි පිටත් ව යනු. තවද ඔවුනට මුහුදෙහි (ජලයෙන් තොර) වියළි මාවතක් පෙන්වනු. සතුරු ප්‍රහාරයට බිය නොවනු. තවද නුඹ (දියෙහි ගිලීම ගැනද) බිය නොවනු යැයි සැබැවින්ම අපි මූසා වෙත දේව පණිවිඩ එව්වෙමු.

78

එවිට ෆිර්අවුන් ඔහුගේ සේනාව සමග ඔවුන් ව ලුහු බැන්දේය. මුහුදෙහි ඔවුන් වටලා ගත යුතු දෑ ඔවුන් ව වටලා ගත්තේය.

79

ෆිර්අවුන් තම සමූහයා නොමග හැරියේය. තවද ඔහු මග පෙන්වූයේ නැත.

80

අහෝ ! ඉස්රාඊල් දරුවනි, නුඹලාගේ සතුරන්ගෙන් අපි නුඹලා ව මුදවා ගත්තෙමු. තවද දකුණු තූර් කන්ද දෙසින් අපි නුඹලාට ප්‍රතිඥා දුනිමු. තවද නුඹලා වෙත මන්නු හා සල්වා (නමැති ස්වර්ග ආහාර) පහළ කළෙමු.

81

අපි නුඹලාට පෝෂණය කළ දෑහි පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. එහි නුඹලා සීමාව ඉක්මවා නොයනු. එහෙයින් මාගේ කෝපය නුඹලා වෙත පහළ වනු ඇත. තවද කවරෙකු වෙත මාගේ කෝපය පහළ වන්නේ ද සැබැවින්ම ඔහු විනාශ වනු ඇත.

82

තවද පසුතැවිලි වී විශ්වාස කොට දැහැමි දෑ සිදු කොට පසු ව යහ මග යොමු වූවන්හට සැබැවින්ම මම අතික්ෂමාශීලී වෙමි.

83

අහෝ ! මූසා, නුඹගේ ජනයාගෙන් වෙන්වීමට නුඹ ව ඉක්මන් කළේ කුමක් ද?

84

ඔවුහු මාගේ පියවර මත වෙති. මාගේ පරමාධිපතියාණෙනි, ඔබ තෘප්තියට පත් වනු පිණිස ඔබ වෙත මම ඉක්මන් වූයෙමි යැයි ඔහු පැවසීය.

85

සැබැවින්ම නුඹගෙන් පසු නුඹගේ සමූහයා අපි පරීක්ෂණයට ලක් කළෙමු. තවද සාමිරී ඔවුන් ව නොමග හැරියේය.

86

පසු ව මූසා තම සමූහයා වෙත කෝපයෙන් යුතු ව කනස්සල්ලෙන් නැවත හැරී ආවේය. අහෝ ! මාගේ ජනයිනි, නුඹලාට අලංකාර ප්‍රතිඥාවක් නුඹලාගේ පරමාධිපති නුඹලාට ප්‍රතිඥා නොකළේ ද? එම ප්‍රතිඥාව නුඹලා වෙත දීර්ඝ වී ද? එසේ නැතහොත් නුඹලාගේ පරමාධිපතිගෙන් වූ කෝපය නුඹලා වෙත පහළ වීමට නුඹලා අපේක්ෂා කළෙහු ද? එහෙයින් නුඹලා මාගේ ප්‍රතිඥාවට විරුද්ධ ව කටයුතු කළෙහුය.

87

අපගේ කැමැත්තෙන් නුඹගේ ප්‍රතිඥාවට අපි විරුද්ධ නොවූයෙමු. එනමුත් ජනයාගේ අලංකාරයෙන් පිරුණු (ආභරණ) බර අප මත පටවන ලදී. එහෙයින් අපි එය දැමුවෙමු. එසේම සාමිරීද දැමුවේය.

88

පසු ව හඬක් සහිත වසුපැටවකුගේ ශරීරයක් ඔවුන් වෙනුවෙන් ඔහු මතු කළේය. එවිට ඔවුහු මෙය නුඹලාගේ දෙවියාය. මූසාගේ ද දෙවියයා. නමුත් ඔහුට (එය) අමතක විය යැයි පැවසූහ.

89

ඔවුන් වෙත කිසිදු ප්‍රතිචාරයක් එය නොදක්වන බවද ඔවුනට කිසිදු නපුරක් හෝ ප්‍රයෝජනයක් කිරීමට එයට බලය නොමැති බව ද ඔවුහු නොදුටුවෝද?

90

මීට පෙර හාරූන් මාගේ ජනයිනි, මෙමගින් නුඹලා අර්බුදයකට පත් ව ඇත. තවද නියත වශයෙන්ම නුඹලාගේ පරමාධිපති මහා කාරුණිකය. එහෙයින් නුඹලා මා අනුගමනය කරනු. තවද මාගේ අණට කීකරු වනු යැයි ඔවුනට පැවසීය.

91

මූසා අප වෙත නැවත පැමිණෙන තෙක් ඒ මත රැඳී සිටීමෙන් කිසිවිටෙක අපි ඉවත් නොවන්නෙමු යැයි ඔවුහු පැවසූහ.

92

(මූසා,හාරූන් අමතා) අහෝ ! හාරූන්, ඔවුන් නොමග ගිය බව නුඹ දුටු විට (ඔවුන්ව නිවරැදි කිරීමට) නුඹ ව වැළැක්වූයේ කුමක්දැ?යි විමසීය.

93

නුඹ මා අනුගමනය නොකිරීමට (නුඹ ව වැළැක්වූයේ කුමක් ද?) නුඹ මාගේ අණට පිටුපෑවෙහි ද?.

94

අහෝ ! මාගේ මවගේ පුතණුවනි, මාගේ රැවුලෙන් හා මාගේ හිසින් නුඹ නොඅල්ලනු. ‘නුඹ ඉස්රාඊල් දරුවන් අතර භේද ඇති කළෙහිය. නුඹ මාගේ වචනය බලා පොරොත්තු නොවූයෙහිය යැයි නුඹ පැවසීම ගැන සැබැවින්ම මම බිය වූයෙමි.

95

අහෝ ! සාමිරී, එසේ නම් නුඹේ දෙසුම කුමක්දැයි ඔහු (මූසා) විමසීය.

96

ඔවුන් කවර කරුණක් නොදුටුවේ ද එවැන්නක් මම දුටුවෙමි. එවිට මා රසූල්වරයාගේ පා සලකුණින් (වැලි) අහුරක් අහුරා ගෙන පසු ව එය මා (ඒ මත) විසි කළෙමි. එලෙසය මා වෙත මාගේ සිත අලංකාරවත් කළේ යැයි ඔහු (සාමිරි මූසාට) පැවසීය.

97

(එවිට මූසා මෙසේ) පැවැසුවේය. "එහෙයින් නුඹ පිටත් ව යනු". නිසැකවම ඔබ ජීවත්ව සිටිනතාක් කල් (කව්රුන් දුටුවා වුවද) මට ළං නොවනු යැයි පැවසීමට නුඹට සිදු වනු ඇත. තවද (මරණින් මතුවට) නුඹ එයින් පසුබැසිය නොහැකි නියමිත වේලාවක් නුඹ සතු වේ. නුඹ කවර දෙයක් මත (නැමදුම් කරමින්) රැඳී සිටියේ ද එවන් නුඹගේ දෙවියන් දෙස බලනු. අපි එය පුලුස්සා දමා පසු ව මුහුදෙහි සුළඟට පාවෙන්නට හරින්නෙමු.

98

නුඹලාගේ දෙවියා අල්ලාහ්ය. ඔහු වනාහි ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. සියලු දෑ පිළිබඳ දැනුමෙන් ඔහු ව්‍යාප්තය.

99

(මුහම්මද්) සැබැවින්ම ඉකුත් වී ගිය දෑහි තොරතුරු අපි නුඹ වෙත පවසනුයේ මෙලෙසය. තවද අප වෙතින් වූ මෙනෙහි කිරීමක් නුඹ වෙත අපි සැබැවින්ම පිරිනමා ඇත්තෙමු.

100

කවරෙකු එය පිටුපාන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී (මහත් වූ) පාපයක් උසුලනු ඇත.

101

එහි ඔවුන් සදාතනිකයින් වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින (එම බර) ඉසිලීම ඔවුනට නපුරු විය.

102

එදින සූර් නම් හොරණෑවෙහි පිඹිනු ලබනු ඇත. තවද නිල් පැහැ ගැන් වූ ඇස් සහිත ව වැරදිකරුවන් එදින අපි රැස් කරන්නෙමු.

103

(එදින) නුඹලා දින දහයක් හැර රැඳී නොසිටියෙහු යැයි ඔවුන් එකිනෙකා අතර කොඳුරති.

104

ඔවුන් පවසන දෑ පිළිබඳ ව අපි මැනවින් දන්නෙමු. එවිට ඔවුන් අතර වූ උදාහරණ පුරුෂයකු එහි මාර්ගයක් වශයෙන් නුඹලා දිනක් හැර රැඳී නොසිටියෙහු යැයි පවසයි.

105

කඳු පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. මාගේ පරමාධිපති එය සුනු විසුනු කොට සුළඟේ පාවී යන්නට ඉඩ හරියි යැයි (නබිවරය නුඹ) පවසන්න.

106

පසු ව විහිඳුණු සමතලා භූමියක් ලෙස ඔහු එය අතහැර දමයි.

107

කිසිදු ඇදයක් හෝ නැම්මක් හෝ නුඹ එහි නොදකිනු ඇත.

108

එදින ඔවුහු නිවේදකයා ව අනුගමනය කරති. (එහි) ඔහුට කිසිදු අඩුවක් නොවේ. සියලු හඬ මහා කරුණාන්විතයාණන් ඉදිරියේ පහත් වෙයි. එවිට පා හඬ හැර (වෙනත් කිසිදු හඬකට) නුඹ සවන් නොදෙනු ඇත.

109

මහා කරුණාන්විතයාණන් කවරෙකුට අනුමැතිය දී කතා කිරීම සඳහා ඔහු ව පිළිගත්තේ ද එවැන්නෙකුට හැර එදින මැදිහත් වීම ප්‍රයෝජනවත් නොවනු ඇත.

110

ඔවුන් අතර ඇති දෑ ද ඔවුනට පසුපසින් ඇති දෑ ද ඔහු දනී. නමුත් ඒ පිළිබඳ දැනුමෙන් ඔවුහු ග්‍රහණය නොකරති.

111

සදා ජීවමාන සදාකාලික වූ (අල්ලාහ්) හට (සියල්ලන්ගේ) මුහුණු යටහත් විය. අපරාධකම් ඉසිලූ අය පරාජිත විය.

112

කවරෙකු විශ්වාසවන්තකු ව සිට යහකම් අතුරින් දැහැමි දෑ කරන්නේ ද එවිට කිසිදු අපරාධයකට හෝ කිසිදු අඩුවකට හෝ ඔහු බිය නොවනු ඇත.

113

තවද එලෙසම අපි (දේවග්‍රන්ථය වූ) මෙම කුර්ආනය අරාබි බසින් පහළ කළෙමු. තවද ඔවුන් බිය බැතිමත් විය හැකි වනු පිණිස හෝ ඔවුනට මෙනෙහි කිරීමක් සිදු කළ හැකි වනු පිණිස එහි අපි ප්‍රතිඥාවන් විස්තර කළෙමු.

114

සැබෑ රජතෙම වූ අල්ලාහ් උත්තරීතර විය. නුඹ වෙත ඔහුගේ දේව පණිවිඩ අවසන් කරනු ලබන්නට පෙර කුර්ආනය සම්බන්ධයෙන් නුඹ ඉක්මන් නොවනු. මාගේ පරමාධිපතියාණනි, මට දැනුම වර්ධනය කරනු මැනව ! යි නුඹ පවසනු.

115

මීට පෙර ද අපි ආදම් වෙත ප්‍රතිඥාවක් දුන්නෙමු. නමුත් ඔහු අමතක කළේය. තවද අපි ඔහු වෙත ස්ථාවරත්වයක් නොදුටුවෙමු.

116

ආදම්ට සුජූද් (ආචාර) කරනු යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු. එවිට ඉබ්ලීස් හැර (සෙසු සියලු දෙනා ආචාර) සුජූද් කළෝය. ඔහු පිටුපෑවේය.

117

අහෝ ! ආදම්, නියත වශයෙන්ම මොහු නුඹගේ හා නුඹගේ බිරියගේ සතුරාය. එහෙයින් නුඹලා දෙදෙනා ව ඔහු මෙම (ස්වර්ග) උයනින් පිටුවහල් නොකළ යුතුය. එවිට නුඹ අභාග්‍යවන්ත වනු ඇත.

118

තවද නියත වශයෙන්ම නුඹ එහි කුසිගින්නෙන් නොපෙළෙන අතර තවද නිරුවත් ද නොවනු ඇත.

119

තවද නියත වශයෙන්ම එහි නුඹ පිපාසිත නොවන අතර හිරු රශ්මියෙන් නොපෙළෙනු ද ඇත.

120

ෂෙයිතාන් ඔහු වෙත කුතුහලය ඇති කළේය. අහෝ ! ආදම්, සදා ජීවත් කරවන ගසක් හා විනාශ වී නොයන රාජධානියක් පිළිබඳ ව මම නුඹට දන්වන්නෙම්දැයි විමසීය.

121

එවිට ඔවුන් දෙදෙනා එයින් අනුභව කළෝය. එවිට ඔවුන් දෙදෙනාගේ රහස්‍ය පෙදෙස් ඔවුන් දෙදෙනාට හෙළිවිය. (ස්වර්ග) උයනේ කොළ වලින් ඔවුන් දෙදෙනාව ආවරණය කරගන්නට පටන් ගත්තෝය. ආදම් තම පරමාධිපතිට පිටුපෑවේය. තවද ඔහු නොමග ගියේය.

122

පසු ව ඔහුගේ පරමාධිපති ඔහු ව තෝරා ගත්තේය. එවිට ඔහු වෙත ඔහු පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. තවද මග පෙන්වීය.

123

නුඹලා දෙදෙනා සියල්ල සමග පහළට බසිනු. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුට සතුරුය. මගෙන් නුඹලා වෙත යහ මග පැමිණෙනු ඇත. එහෙයින් කවරෙකු මාගේ යහ මග පිළිපදින්නේ ද එවිට ඔහු නොමග නොයනු ඇත. තවද අභාග්‍යවන්ත නොවනු ඇත.

124

මා මෙනෙහි කිරීමට කවරෙකු පිටුපෑවේ ද එවිට නියත වශයෙන්ම ඔහුට පීඩිත ජීවිතයක් ඇත. තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අන්ධයකු ලෙස අපි ඔහු ව නැවත නැගිටුවන්නෙමු.

125

මාගේ පරමාධිපතියාණෙනි, අන්ධයකු ලෙස ඔබ මා අවදි කළේ මන්ද? මම බැල්මත්තෙකු ලෙස සිටියෙමි යැයි ඔහු පවසයි.

126

එලෙසය, අපගේ වදන් නුඹ වෙත පැමිණියේ. එවිට නුඹ එය අමතක කළෙහිය. එලෙසම අද දින නුඹ ව අමතක කරනු ලබන්නේ යැයි ඔහු (අල්ලාහ්) පවසයි.

127

තවද තම පරමාධිපතිගේ වදන් විශ්වාස නොකොට (ඔහුට සමානයන් තබමින් ) සීමාව ඉක්මවා ගියවුන්හට අපි ප්‍රතිඵල පිරිනමනුයේ මෙලෙසය. මතු ලොව දඬුවම ඉතා දරුණුය. තවද වඩාත් ස්ථායීය.

128

ඔවුනට ඔහු මග පෙන්වීම් නොකළේ ද? ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කළෙමුද? මොවුන් ඔවුන්ගේ වාසස්ථාන වල ගමන් කරමින් සිටිති. නියත වශයෙන්ම එහි බුද්ධිය ඇත්තවුනට සංඥාවන් ඇත.

129

නුඹගේ පරමාධිපතිගෙන් වූ වදනක් පෙරටු නොවූයේ නම් එය (එකහෙළා) අනිවාර්යය වන්නට තිබුණි. එනමුත් නියමිත කාලයක් ඇත.

130

එහෙයින් ඔවුන් පවසන දෑ කෙරෙහි නුඹ ඉවසා දරා ගනු. තවද නුඹ තෘප්තියට පත් විය හැකි වනු පිණිස නුඹගේ පරමාධිපතිගේ ප්‍රශංසාව තුළින් හිරු උදා වීමට පෙර හා එය අවරට යාමට පෙර සුවිශුද්ධ කරනු. තවද රාත්‍රී කාලයේ ද දහවල් කෙළවරවල්හිද සුවිශුද්ධ කරනු.

131

අපි ඔවුන් එහි පරීක්ෂා කරනු පිණිස මෙලොව ජීවිතයේ චමත්කාරයක් ලෙස ඔවුන් අතුරින් පිරිසකට කවර දෙයක් අපි භුක්ති විඳීම සඳහා ලබා දුන්නේ ද ඒ වෙත නුඹගේ දෑස් දිගු නොකරනු. තවද නුඹගේ පරමාධිපතිගේ පෝෂණය ශ්‍රේෂ්ඨය. තවද වඩාත් ස්ථීරද වේ .

132

තවද සලාතය පිළිබඳ නුඹගේ පවුලට නුඹ අණ කරනු. තවද ඒ මත රැඳී සිටිනු. අපි නුඹගෙන් පෝෂණය නොඉල්ලුවෙමු. නුඹට පෝෂණය සපයනුයේ අපමය. තවද අවසාන තීන්දුව බිය බැතිමතුන් හටය.

133

ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු අප වෙත ගෙන ආ යුතු නොවේ දැයි ඔවුහු විමසති. (අල්ලාහ් විසින් පහළ කළ) මුල් පොත්හි ඇති දෑහි පැහැදිළි සංඥා ඔවුන් වෙත නොපැමිණියේද?

134

මීට පෙර යම් දඬුවමකින් සැබැවින්ම අපි ඔවුන් විනාශ කළෙමු නම්, අපගේ පරමාධිපතියාණෙනි, අප වෙත ධර්ම දූතයකු ඔබ එවිය යුතු නොවේ ද? එවිට අප අවමානයට හා අපකීර්තියට පත් වීමට පෙර නුඹගේ වදන් පිළිපදින්නට තිබුණි යැයි ඔවුහු පවසනු ඇත.

135

සියලු දෙනා බලාපොරොත්තු වන්නන්ය. එහෙයින් නුඹලාත් බලාපොරොත්තුවෙන් සිටිනු. එවිට ඍජු මාර්ගයේ සගයින් කවුරුන්දැයි ද යහ මග ගියවුන් කවුරුන්දැයිද නුඹලා මතු දැන ගනු ඇතැයි (නබිවරය) නුඹ පවසනු.