සියලුම ඉස්ලාම් පුස්තකාලය

15 - The Rocky Tract - Al-Ĥijr

:1

අලිෆ්, ලාම්, රා. එය දේව ග්‍රන්ථයේ හා පැහැදිලි කුර්ආනයේ වදන් වේ.

:2

(මෙලොවදී) තමන් මුස්ලිම්වරුන් ලෙස සිටියේ නම් (කෙතරම් අගනේ ද) යැයි ප්‍රතික්ෂේප කළවුන් (එදින) ඉමහත් සේ ප්‍රිය කරනු ඇත.

:3

ඔවුහු අනුභව කරමින් භුක්ති විඳින්නට නුඹ ඔවුන් අත හැර දමනු. තවද මනෝ ආශාවන් ඔවුන් ව වෙනතකට යොමු කරයි. එවිට ඔවුහු මතු දැන ගනු ඇත.

:4

තවද අපි කිසිදු ගම්මානයක් එයට නියම කරන ලද නියමයක් ලබා දෙමින් මිස විනාශ නොකළෙමු.

:5

කිසිදු සමූහයක් එහි කාල සීමාව ඉක්මන් නොකරයි. තවද ඔවුහු ප්‍රමාද ද නොවෙති.

:6

තවද ( අල්කුර්ආනය හෙවත්) දේව ග්‍රන්ථය කවරෙකුට පහළ කරනු ලැබූවේද එම තැනැත්තාණෙනි, නියත වශයෙන් ඔබ උන්මත්තකයෙකි යැයි ඔවුහු පැවසූහ.

:7

නුඹ සත්‍යවාදීන් අතුරින් නම් නුඹ අප වෙත මලක්වරුන් ගෙන ආ යුතු නොවේ ද?

:8

(නබිවරය) සත්‍යය හේතුවකින් තොරව අපි මලක්වරුන් පහළ නොකරන්නෙමු. (ඔවුහු වේදනාව දීම සම්බන්ධයෙන් එවනු ලබන්නේ නම්) එවිට ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නොවෙති .

:9

නියත වශයෙන්ම අපමය ( අද් දික්ර් හෙවත්) දේව ග්‍රන්ථය (අල් කුර්ආනය) පහළ කළේ. තවද නියත වශයෙන්ම අපි එය ආරක්ෂා කරන්නන් වෙමු.

:10

තවද නුඹට පෙර වූ පැරණි පිරිස් අතරට ද සැබැවින්ම අපි (රසූල්වරුන්) පණිවිඩකරුවන් එව්වෙමු.

:11

තවද ඔවුන් වෙත (අපගේ) කවර හෝ (රසූල්වරයෙකු) පණිවිඩකරුවෙකු පැමිණි විට ඔවුහු ඔහුට සමච්චල් කළහ.

:12

වැරදිකරුවන්ගේ හදවත් තුළට අපි එය කාවද්දනුයේ එලෙසය.

:13

ඔවුහු එය විශ්වාස නොකරති. තවද සැබැවින්ම පැරැණ්නන්ගේ සිරිත් ඉකුත් වී ගොස් ඇත.

:14

තවද අපි ඔවුන් වෙත අහසින් දොරටුවක් විවෘත කොට එහි ඔවුහු ආරෝහණය වන්නන් බවට පත් වුව ද (ඔවුහු විශ්වාස නොකරති.)

:15

නියත වශයෙන්ම (කිසිවක් නොපෙනෙන සේ ) අපගේ ඇස් බන්දනය කරනු ලැබ ඇත. (එපමණක්) නොව අපි හූනියම් කරනු ලැබූ පිරිසකි යැයි ඔවුහු (අසත්‍යවාදීන්) පවසති.

:16

තවද සැබැවින්ම අපි අහසෙහි තාරකා මණ්ඩල ඇති කළෙමු. තවද බලන්නන්හට අපි එය අලංකාරවක් කළෙමු.

:17

තවද පලවා හරිනු ලැබූ සෑම ෂෙයිතානුවකුගෙන්ම අපි එය ආරක්ෂා කළෙමු.

:18

නමුත් සවන් දී (තොරතුරු) සොරකම් කරන්නා හැර. එවිට පැහැදිලි ගිනි උල්කාවක් ඔහු පසුපස ලුහුබඳිනු ඇත.

:19

තවද අපි මහපොළොව ව්‍යාප්ත කර හැරියෙමු. එහි අපි කඳුහෙල් ඇති කළෙමු. තවද අපි එහි සෑම වස්තුවකින්ම නියමිත ආකාරයට පැළවෙන්නට සලස්වන්නෙමු.

:20

තවද අපි එහි නුඹලාටත් නුඹලා කවරෙකුට පෝෂකයින් ලෙස නොසිටියේ ද එවන් අයටද ජීවන පහසුකම් ඇති කළෙමු.

:21

කුමන දෙයක් වුවද එහි ගබඩාවන් අප සතුව ඇත. අපි එය නියමිත ප්‍රමාණයකින් මිස පහළ නොකරන්නෙමු.

:22

තවද අපි සුළඟ පිරිසිදු (ජලය උසුලන) අයුරින් එව්වෙමු. පසු ව අහසින් ජලය පහළ කළෙමු. පසු ව නුඹලා එයට රැස් කරන්නන් ලෙස නොසිටි තත්තවයේ අපි එය නුඹලාට සැපයූවෙමු.

:23

තවද නියත වශයෙන්ම ජීවය දෙන්නේද තවද මරණයට පත් කරන්නේද අපමය. තවද අපි උරුමක්කරුවෝ වෙමු.

:24

සැබැවින්ම අපි නුඹලා අතුරින් පෙර ගියවුන් පිළිබඳ ව දනිමු. එමෙන්ම පසු පැමිණෙන්නවුන් පිළිබඳ ව ද අපි දනිමු.

:25

තවද නියත වශයෙන්ම නුඹේ පරමාධිපති වන ඔහු (මතු ලොවෙහි) ඔවුන් ව එක්රැස් කරනු ඇත. නියත වශයෙන්ම ඔහු සියුම් ඥානය ඇති සර්වඥානීය.

:26

සැබැවින්ම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිස් වර්ගයා අපි මැව්වෙමු.

:27

මීට පෙර දැඩි උණුසුම් ගින්නෙන් අපි ජින් වර්ගයා මැව්වෙමු.

:28

නියත වශයෙන්ම මම විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් මිනිසා මවමි යැයි නුඹේ පරමාධිපති මලක්වරුන්ට පැවසූ අවස්ථාව සිහියට නගනු.

:29

පසු ව මම ඔහු ව විධිමත් ව සකසා මාගේ ප්‍රාණයෙන් මම ඔහු තුළ පිඹුවෙමි. එවිට නුඹලා සිරස නමමින් සුජූද් කරන්නන් ලෙස වැටෙනු. ( යැයි නුඹගේ පරමාධිපති පැවසීය.)

:30

එවිට මලක්වරුන් වන ඔවුන් සියලු දෙනාම සිරස නමා සුජූද් කළහ.

:31

ඉබ්ලීස් හැර. ඔහු සුජූද් කරන්නන් සමග වීමට පිටුපෑවේය.

:32

අහෝ ! ඉබ්ලීස්, නුඹ සුජූද් කරන්නන් සමග නොවීමට නුඹට කුමක් වී දැයි ඔහු විමසුවේය.

:33

විවිධ (වර්ගයෙන්) වූ කළු මැටියෙන් නුඹ මැවූ මිනිසාට මා සුජූද් කිරීමට මම (සූදානම්) නොවෙමි යැයි ඔහු පැවසුවේය.

:34

එසේ නම් නුඹ මින් බැහැර ව යනු. නියත වශයෙන්ම නුඹ පලවා හරිනු ලැබූවෙකි යැයි ඔහු පැවසුවේය.

:35

තවද විනිශ්චය දිනය දක්වා නුඹට එරෙහි ව ශාපය ඇත.

:36

මාගේ පරමාධිපතියාණෙනි, ඔවුන් නැවත නැගිටුවනු ලබන දිනය තෙක් මට නුඹ අවකාශය දෙනු යැයි ඔහු පැවසුවේය.

:37

එසේනම් නියත වශයෙන්ම නුඹ අවකාශය දෙනු ලැබූ අය අතුරිනි යැයි ඔහු පැවසුවේය.

:38

නියමිත වේලාවේ දිනය දක්වා.

:39

මාගේ පරමාධිපතියාණෙනි, නුඹ මා නොමග යොමු කළ බැවින් මහපොළොවේ (ඇති දෑ) ඔවුනට මම අලංකාරවත් කරන්නෙමි. තවද සැබැවින්ම මම ඔවුන් සියලු දෙනා නොමග යවන්නෙමි යැයි ඔහු (ෂයිතාන්) කීවේය.

:40

නමුත් ඔවුන් අතුරින් වූ නුඹේ අවංක ගැත්තන් හැර.

:41

"මෙය මා වෙත (පැමිණිය හැකි) ඍජු මාර්ගය වේ" යැයි ඔහු (අල්ලාහ්) පැවසුවේය.

:42

නියත වශයෙන්ම මාගේ ගැත්තන් වන ඔවුනට එරෙහිව කිසිදු ආධිපත්‍යයක් නුඹට නැත. නමුත් සීමාව ඉක්මවා ගියවුන් අතුරින් නුඹව පිළිපදින්නන්ට හැර.

:43

තවද නියත වශයෙන්ම නිරය (සීමාව ඉක්මවා ගිය) සියලු දෙනා හටම ප්‍රතිඥා දෙනු ලැබූ ස්ථානයයි.

:44

"එයට දොරටු හතක් ඇත. සෑම දොරටුවක් සඳහාම ඔවුන් (ෂයිතාන්ගේ ගමන් මග අනුගමනයකළ අය) අතුරින් (පිරිසකට විශේෂයෙන්) වෙන් කරන ලද කොටසක් ඇත" (යැයි අල්ලාහ් පවසයි.)

:45

නියත වශයෙන්ම බිය බැතිමතුන් (ස්වර්ග) උයන් හා දිය උල්පත් වල (සතුටින්) සිටිති.

:46

නුඹලා එහි නිර්භය ව සාමයෙන් පිවිසෙනු.

:47

ඔවුන්ගේ හදවත් තුළ ඇති ක්‍රෝධය අපි ඉවත් කළෙමු. ඔවුහු යහනාවන් මත මුහුණට මුහුණලා සහෝදරයින් ලෙස සිටිති.

:48

එහි ඔවුනට කිසිදු වෙහෙසක් ඇති නොවේ. ඔවුන් ඉන් බැහැර කරනු ලබන්නන් ද නොවෙති.

:49

නියත වශයෙන්ම මම අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්ත බවත් මාගේ ගැත්තන්හට (නබිවරය,) නුඹ දන්වා සිටිනු.

:50

තවද නියත වශයෙන්ම මාගේ දඬුවම වන එය වේදනීය දඬුවම බවද ඔවුනට දන්වා සිටිනු.

:51

තවද නුඹ ඉබ්‍රාහීම්ගේ ආගන්තුකයින් පිළිබඳ ව ඔවුනට දන්වා සිටිනු.

:52

ඔවුහු (දේවදූතයින්) ඔහු (ඉබ්රාහීම්) වෙත පිවිසි කල්හි ශාන්තිය අත්වේවා යැයි ඔවුහු පැවසුවෝය. නියත වශයෙන්ම අපි නුඹලා පිළිබඳ ව තැති ගන්නන් වෙමු යැයි ඔහු පැවසුවේය.

:53

නුඹ (අප ගැන) තැති නොගනු. නියත වශයෙන්ම අපි නුඹට ඥානවත් දරුවකු පිළිබඳ ව ශුභාරංචි දන්වා සිටිමු යැයි ඔවුහු පැවසුවෝය.

:54

මහලු විය මා වෙළා ගෙන තිබිය දී නුඹලා මට ශුභාරංචි දන්වා සිටින්නෙහු ද? එහෙයින් නුඹලා කුමක් ගැන ද මට ශුභාරංචි දන්වා සිටිනුයේ යැයි ඔහු විමසුවේය.

:55

අපි නුඹට සැබෑ ව ශුභාරංචි වශයෙන් දන්වා සිටියෙමු. එහෙයින් නුඹ අපේක්ෂාභංග වූවන් අතුරින් නොවනු.

:56

නොමග ගියවුන් මිස තම පරමාධිපතිගේ දයාව ගැන අපේක්ෂා රහිත වනුයේ කවුරුන්දැයි ඔහු පැවසුවේය.

:57

අහෝ ! ( දෙවියන් විසින්) එවනු ලැබූවනි, නුඹලාගේ දෙසුම කුමක් දැයි ඔහු විමසුවේය.

:58

නියත වශයෙන්ම අපි අපරාධකාරී පිරිසක් වෙත එවනු ලැබුවෙමු යැයි ඔවුහු පැවසුවෝය.

:59

ලූත්ගේ පරපුර වෙත හැර. නියත වශයෙන්ම ඔවුන් සියලු දෙනා ව අපි මුදවා ගන්නන් වෙමු.

:60

නමුත් ඔහුගේ බිරිය හැර. නියත වශයෙන්ම ඇය ඉතිරිවූවන් අතුරින් යැයි අපි තීන්දු කළෙමු.

:61

එවිට දූතයෝ ලූත්ගේ පරපුර වෙත පැමිණි කල්හි

:62

නියත වශයෙන්ම නුඹලා නාඳුනන පිරිසක් යැයි ඔහු පැවසුවේය.

:63

නමුත් ඔවුන් කවර විෂයක සැක කරමින් සිටියේ ද එය සමග අපි ඔබ වෙත පැමිණියෙමු යැයි ඔවුහු පැවසුවෝය.

:64

තවද සත්‍යය සමග ඔබ වෙත අපි පැමිණියෙමු. තවද නියත වශයෙන්ම අපි සත්‍යවාදීහුමය.

:65

එහෙයින් රාත්‍රියේ කොටසක නුඹ නුඹගේ පවුල සමග විගස යනු. ඔවුන්ගේ පසුපසින් නුඹද පරව යනු. නුඹලා අතුරින් කිසිවකු හෝ හැරී නොබැලිය යුතුය. නුඹලා අණ කරනු ලැබූ තැනට ගමන් කරනු.

:66

නියත වශයෙන්ම උදෑසන මොවුන් මුලින් උපුටා දමනු ඇතැයි යන එම නියෝගය අපි ඔහුට දන්වා සිටියෙමු.

:67

(ලූත් නබිගේ) නගර වැසියෝ (කාමයේ වරදවා හැසිරීමේ අදහසින්) සතුටට පත්වෙමින් පැමිණියහ .

:68

නියත වශයෙන්ම මොවුහු මාගේ ආගන්තුකයින් වෙති. එබැවින් නුඹලා මා අවමානයට පත් නොකරනු යැයි ඔහු (ලූත් නබිවරයා) පැවසුවේය.

:69

තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා මා දුකට පත් නොකරනු.(යැයි ලූත් නබිවරයා පැවසුවේය.)

:70

(එවිට) ඔවුහු ලෝවැසියන්ගෙන් අපි නුඹ ව නොවැළැක්වෙමු දැයි (ලූත් නබිවරයාගෙන්) විමසුවෝය.

:71

නුඹලා එසේ (ලිංගික ආශාවන් ඉටු) කරන්නන් ලෙස සිටියෙහු නම් (නීත්‍යානුකූලව අවශ්‍යතා ඉටුකිරීමට) මේ මාගේ දියණිවරුන් වෙති යැයි ඔහු (ලූත් නබිවරයා) පැවසුවේය.

:72

(නබිවරය) නුඹගේ ප්‍රාණය වෙත දිවුරමින් (පවසමි) නියත වශයෙන්ම ඔවුහු ඔවුන්ගේ (මනෝ ආශාවන්හි) මනස අවුල් වියවුල්වී සිහිසුන්ව සිටිති.

:73

එබැවින්, හිරු උදා වෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.

:74

එවිට අපි එහි උඩු තලය එහි යටි තලය බවට පත් කළෙමු. තවද අපි ඔවුන් වෙත රත් කරනු ලැබූ ගල් වර්ෂාවක් වැස්සවීමු.

:75

නියත වශයෙන්ම මෙහි සිතා බලන්නන්හට සංඥාවන් ඇත.

:76

තවද නියත වශයෙන්ම එය ප්‍රධාන මාර්ගයේ විය.

:77

නියත වශයෙන්ම එහි දේව විශ්වාසවන්තයින් හට සංඥාවක් ඇත.

:78

තවද සැබැවින්ම අයිකා වැසියෝ ද අපරාධකරුවන් වූහ.

:79

එහෙයින් අපි ඔවුන්ගෙන් ද පළිගත්තෙමු. නියත වශයෙන්ම මෙ(ම ජන සමූහයන්) දෙක ප්‍රකට මාවතක් විය.

:80

තවද සැබැවින්ම හිජ්ර් වැසියෝ ද රසූල්වරුන් (පණිවිඩකරුවන්) ව බොරු කළෝය.

:81

තවද අපි අපගේ වදන් ඔවුනට පිරිනැමුවෙමු. එවිට ඔවුහු ඒවා නොසලකන්නන් වූහ.

:82

තවද ඔවුහු වාසස්ථාන වශයෙන් කඳු වල ලෙන් හාරා සුරක්ෂිතයින් වූහ.

:83

එවිට ඔවුන් අලුයම උදාවෙත්ම මහා හඬ ඔවුන් ව ග්‍රහණය කළේය.

:84

එවිට ඔවුන් උපයමින් සිටි දෑ ඔවුනට ඵලක් නොවීය.

:85

අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද සත්‍යයෙන් මිස අපි නොමැව්වෙමු. තවද නියත වශයෙන්ම අවසන් හෝරාව පැමිණෙන්නේමය. එහෙයින් අලංකාර සමාවකින් නුඹ (ඔවුන් ව) නොසලකා හරිනු.

:86

නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහුමය සර්ව ඥානී වූ මහා මැවුම්කරු.

:87

තවද (නබිවරය,) සැබැවින්ම අපි සබ්අන් මිනල් මසානී (හෙවත් නැවත නැවත පාරායනය කරන දැයින් හතක්) ද අතිමහත් කුර්ආනය ද අපි නුඹට පිරිනැමුවෙමු.

:88

ඔවුන් අතුරින් පිරිසකට අපි කවර දෙයක් භුක්ති විඳීමට සැලැස්වූයේ ද ඒ දෙසට නුඹේ දෑස් දිගු නොකරනු. තවද ඔවුන් පිළිබඳ ව නුඹ දුක් නොවනු. දේව විශ්වාසවන්තයින් හට නුඹගේ පියාපත් පහත් කරනු.

:89

නියත වශයෙන්ම පැහැදිලි අවවාද කරන්නා මම ම වෙමි යැයි නුඹ පවසනු.

:90

බෙදුම්වාදීන් කෙරෙහි අපි පහළ කළාක් මෙන්

:91

ඔවුහු වනාහි අල් කුර්ආනය කොටස් බවට පත් කළෝය.

:92

එහෙයින් නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් සියල්ලන්ගෙන්ම අපි විමසන්නෙමු.

:93

ඔවුහු සිදුකරමින් සිටි දෑ පිළිබඳ ව (විමසන්නෙමු.)

:94

එහෙයින් නුඹට අණ කරනු ලබන දෑ නුඹ හෙළිපිටම පවසනු. තවද දේව ආදේශයකින් ගැන නුඹ නොසලකා හරිනු.

:95

සමච්චල් කරන්නන් සම්බන්ධයෙන්, නියත වශයෙන්ම අපි නුඹට ප්‍රමාණවත් වන්නෙමු.

:96

ඔවුහු වනාහි අල්ලාහ් සමග වෙනත් දෙවිඳෙකු පත් කළෝය. එහෙයින් ඔවුහු මතු දැන ගනු ඇත.

:97

තවද නියත වශයෙන්ම නුඹේ හදවත ඔවුන් පවසන දැයින් පීඩනයට පත් ව ඇති බව සැබැවින්ම අපි දනිමු.

:98

එහෙයින් නුඹ නුඹගේ පරමාධිපතිගේ ප්‍රසංශා ව තුළින් පිවිතුරු කරනු. තවද නුඹ සිරස නමා සුජූද් කරන්නන් සමග වනු.

:99

තවද ස්ථීර අවසානය නුඹ වෙත පැමිණෙන තෙක් නුඹේ පරමාධිපතිට නුඹ නැමදුම් කරනු.